Ads Top

ස්තූතියි මා හැර ගිය නුඹට ! මම හොඳින් !

හැම ගෑණු ළමයෙකුටම මාසෙ දවස් විසි අ⁣ටකින් විසි නවයකින් මැජික් එකක් වගෙ මතක් වෙන වචනයක් තමයි කෝපි. බඩත් අල්ලන් දෙකට තුනට නැමිලා කෝපි කෝප්පෙට වඳින වැඳිල්ල ඔහ් දෙවියෝම දනී. මට මේ කතාව මතක් වුණේ හවස් වරුවට බොන තේ එක වෙනුවට කෝපි බොන්න ආසාවක් ආව මොහොතක. මම කෝපි බොන්නෙ මට මගෙ අමිහිරි දවස් අමතක කරන්න මට ලැබෙන උත්තේජනයක් විදිහට. කොහෙදො තියෙන කියන්න බැරි රසක් එක්ක මාව අර ⁣බැහැගෙන යන ඉරෙනුත් එහාට ඒ රසය මාව අරගෙන යනවා. ඒක හරියට හවසට හවසට පිරිමි පාර්ශවය තොල ගාන මත් වතුර වගෙ. හැඟීම් නොමරා මරන්න මේ ⁣ඖෂධය මට හුඟක් ප්‍රයෝජනවත්.

හරිම උණුසුම් බවකදි මට මගෙ ප්‍රේමය සිහි වෙන්නත්, මඳක් නිවුනු පසු ප්‍රේමයෙන් මා තනි වු බවත්, සිහි වෙද්දි අවසානය මට සිහි කරනවා මම නැඟී සිටිය යුතු බව. මගෙ ප්‍රේමය, මම කෝපි එකට මිශ්‍ර කරන උණුසුම් ජලය වගෙ. මම දන්නෙ නෑ එය වර්ථමාන, අනාගත, අතීත මොන කාලයට අයත් එකක්ද කියලා. නමුත් සර්ව කාලීන ප්‍රේමයක් එහි මිශ්‍රව පවතිනවා. මේ උණුසුම් ජලයට මිශ්‍ර කරන සීනි අහුර මට මගෙ ජීවිතේ ලැබුණ ප්‍රේමයේ අනුහස් වගෙ. තව තවත් ආසා හිතෙන තරම් ඒවා හරිම රසවත්. අවසානයෙ ⁣මිශ්‍ර කරන කෝපි අහුර, ඔව් ඒ මගෙ ජීවිතේ. දිය වු සියල්ල මගෙ වර්ථමානය. අතැරමැද අතීතය ඒ සියල්ල යටින් සැඟවුන මගෙ අරුමැති අනාගතය. ඉස්සර උගුරකින් දෙකකින් අවසන් වුණ මේ පුරුද්ද දැන් ඉන් එහා එපිට මා නොදුටු මාගේ අනාගතයට මාව අරගෙන යද්දි, මම හිතනවා මට තිබුණා මීට කලින් ආරම්භයේදි සියල්ල නිවරදි යැයි සිතා අනාගතය අමතක කරන්න මම ගත් තීරණ.

ඉර බැහැ ගෙන යන්න කලින් තව වතාවක් කෝපි කෝප්පයට හාදුවක් පිරිනමන අතරෙ මම හෙට දවස සැළසුම් කරනවා. මට මතක් වෙනවා නුඹව. සෑම පරිච්චේදයකම පාසා නුඹ උන්නු හැටි. ඒ සියල්ල හමුවෙ නුඹ අහේතුකව ගිය හැටි. ඉතිං මම ඉක්මනින් සිතනවා, මම යා යුතු මාර්ගය ගැන. මම මගෙ සිහින නිද්‍රාවට ගමන් කරනවා. එහි සිටින්නෙ මම පමණයි. එහි සියළු කවුළු අයිති මටයි. මට එහි නුඹ සිටීම හෝ නොසිටීම වැදගත් වන්නෙ නැහැ. නිතර සිනාසෙන මගෙ සිහින ඔබට දරාගන්නට බැරි වෙන්නත් පුළුවන්. ඒ නුඹ මගෙන් ‘ගවුම හදා ගෙන වාඩි විය යුතු යැයි’ කළ තරවටු සිහින මෙහි දකින්න නැති නිසා ඔබට මෙය නුරුස්සාවි. උගුරින් උගුර අවසන් උගුර දක්වාම මම කෝපි කෝප්පයේ රහ බලද්දි මට හිතෙනවා, ‘මම’ එදා තිත්ත බව ඔබ කියු හැටිත්, අර බැහැගෙන යන ඉර කවුළුවෙන් මෑත්වෙනවා වාගේ නුඹ මා හැර ගිය හැටිත්. නමුත් මා අවසන් උගුර ද රස බලනවා. ඉතිරි මංඩිය සමඟ මම සියුම් සතුටක් ලබනවා. ඒ නුඹ නොදුටු සිනාසෙන ගැහැණියක් එහි සිටිනවා. ඔබ පිළිගනිවිද ඇය මමයි. තිගැස්සෙන සුළු බවකින් කෝපි මංඩි කිහිපය මාව ඇහැරවන්න සමත් වෙනවා. තෘප්තිමත් සිහින සමඟ මම කෝපි මංඩි එක්ක සිනාසෙනවා. සැබවින්ම ජීවිතේ තිබුණේ මගෙ ලඟ. මේ වගෙ පුංචි තප්පර කිහිපයක බව මතක් කරලා දෙන්න, මට මේ කෝපි මංඩියම ප්‍රමාණවත් .ඉතින් කවුළුව වසා යාමට අවසරය.

ස්තූතියි මා හැර ගිය නුඹට ! මම හොඳින් !

🖌 මකරි | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.