Ads Top

ඉතිං ප්‍රභා උඹ මැරෙනකොට අපි කිරිබත් නොකාවිද ?


මට හොඳටම මතකයි 
එදා අපිට ඉස්කෝලේ තිබ්බ දවසක්, හවස උපකාරක පංති තිබ්බ දවසක් 
මමයි ෂෙහානියි ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න සීටීබි බස් එකක් ගන්න හිතාන 
කුරුණෑගල ටවුමට ඇවිදගෙන එනකොට 
බිග් මැච් කාලේට තමන්ගේ ඉස්කෝලේ කොඩිය අරන් 
බෑන්ඩ් ගගහා ටවුන් ගානේ ඇවිදිනවා වාගේම 
සිංහ කොඩි ගත්තු මිනිසුන්ගේ එකම පැරඩ් එකක්, එකම සතුටු සාගරයක් 
රතිඤ්ඤා මල් වෙඩි සැලියුට් උත්තමාචාර ගුණකථන හැම හැම තැනම 
අපිව පාස් කරන් නට නට ගිය ඇන්ටි කෙනෙක්ගෙන් ඇඟේ එල්ලිලා විස්තරේ අහගත්තේ අපි 
මට හොඳටම මතකයි එතකොට අපි දෙන්නගේ මූණටත් වැටුණු එළිය 
සෙනඟ ගොඩේ අපි දෙන්නත් ඉස්කෝලේ යුනිෆෝර්ම් ඇඳගෙන හොරාට වගේ නටපු විදිය 
ඔරලෝසු කණුව ගාව නගරෙටම බෙදපු කිරිබත් ගොඩෙන් කෑලි දෙකක් කාලා 
සබ්වේ එකෙන් ස්ටෑන්ඩ් එකට ගියෙත් අපි සහයෝගෙට හිනා වේවි නට නටාමය 
අවුරුදු, වෙසක්, නත්තල්, බිග් මැච්, අරක මේක 
හැම උත්සවයක්ම එක මොහොතක සමරපු දවසක් එදා 
'රණවිරුවා' කිසි දිනෙකටත් වඩා සමරපු දිනයක් එදා 
අද කොරෝනා ටිකට් එක කීදෙනෙකුට ඇදිලා ද නිව්ස් බලනකොට 
එදා, කොතැනද අද බෝම්බය පිපුරුවේ බැලුවා අමතකද ?
තේ බොන්න නවතනවා වාගේ එදා වාහන නැවතුණු චෙක් පොයින්ට්ස් ටික මතකද ?
අයි ඩි අරගෙන පෝලිම් වල ඉන්නකොට මට තිබුණෙත් තැපැල් අයිඩෙන්ටියක්  
දෙන්නගෙන් එකෙක් හරි ඉතුරු වෙන්න ඕනෑ කියලා හිතලා බස් දෙකක ගිය දෙමව්පියන්ට අවසානයේ දරුවන්ගේ ප්‍රමාණේට සීල් කරපු මිනී පෙට්ටි ආවා මතකද ?
ඔබ මම වෙනුවෙන් ජීවිත පිදු රණවිරුවන්ගේ ස්මාරක අහස උසට ඉදි උනා අමතකද ? 
හ්ම්ම්, බාගදා අපිට ඒ කටුක අත්දැකීම් වේදනාව දැනෙනවා මදිත් ඇති, 
මම නියෝජනය කරන්නේ ත්‍රස්තවාදයේ අල්ප මාත්‍රාවක් අත්විඳි පරපුර 
ජීවිතය බේරාගන්නට පලා යන මරණ බය හිනිපෙත්තට අත්නොවිඳි පරපුර  
ඉන්න හිටින්නට තැනක් නැතිව අවතැන් කඳවුරු වල නොගෙවූ ජීවිතයේ පරපුර  
අපි නොවන උන්ගේ හිතට දැනෙන සැනසීම කියාපාන්නට මෙතැන තව වචන තියෙනවද 
අදට උන් උහුලපු දුක් කන්දරාවට සාධාරණය ඉෂ්ඨ වෙලා අවුරුදු 11ක් 
උන්ගේ සැනසුම් සුසුම් වලට අවුරුදු 11 ක් 
ඉතිං ප්‍රභා උඹ මැරෙනකොට අපි කිරිබත් නොකාවිද ? 
අවුරුදු 25ක් 30ක් කියන්නේ සුළු පටුද ?
1983 සිට 2009 දක්වා රට එක්සේසත් කිරීමට ඉතසිතින් දායක වූ 
සෑම අවංක රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුටම, 
සෑම යුධ, නාවික ගුවන් හමුදාපතිවරයෙක්ම ඇතුළු සෑම ත්‍රිවිධ හමුදා නිළධාරියෙකුටම,
සෑම පොලිස්පති වරකුම සහ ඒ සෑම නිළධාරියෙකුටම, 
අවංක සෑම සිවිල් නිළධාරියෙකුටම, සහය දුන් සෑම ජන කොටසකටම 
යුධ වාර්තාකරණයේ සිටි සෑම ජනමාධ්‍යකරුවෙකුටම 
එවන් ධෛර්යවන්ත දූ පුතුන් බිහිකළ හැම අම්මෙකුටම තාත්තෙකුටම 
අපි කෘතගුණ වෙමු, අපි ස්තූතිවන්ත වෙමු 
නුඹේ ජීවිතය මතින් අපි නිදහස වින්දෙමු 
අපි හුස්ම ගත්තෙමු !! 

අනූ පෙරේරා | සිත්තම් මායා | Proud Sri Lankan 

Siththam Maya | Anu Perera. Powered by Blogger.