Ads Top

Lion - 'සරූ බ්‍රයලි' ගෙ කතාව !

සමහර වෙලාවට ජිවිතේ අපිව හිතාගන්නවත් බැරි තැන් වලට එක්කගෙන යනවා. උපරිම සතුට තියෙනකොට ඇඳිවත පවා නැති කරලා දාන තැනටත්, කිසිම දෙයක් නැතිව ඉන්නකොට හැමදේම බන්දේසියක තියලා ලැබෙන තැනටත් ජීවිතය, විෂ්මකර්ම කරනවා. ‘ලයන්’ (Lion) කියන්නේ එහෙම විෂ්මකර්මයකට ලක් වුණු ළමයෙක්ගේ කතාවක්. වැරදි උච්චාරණයක් නිසා ටයිටල් එකට කිසිම සාධාරණයක් ඉෂ්ඨ නොවෙන කතාවක්. ‘සරූ’ කියන්නේ ඉන්දියාවේ දුප්පත් ගමක් වුණු ‘ගනේෂ් තලෙයි’ වල ජීවත් වුණු අවුරුදු පහක පොඩි කොල්ලෙක්. එයාගේ අයියා වුණු ‘ගුඩ්ඩු’ එක්ක එකතු වෙලා යනින් එනින් ගමන් කෝච්චියකින් ගල් අඟුරු ටිකක් හොරකම් කරගෙන ගෙදර වේලක් පිරිමහ ගන්නට ගල් කඩන එයාගේ අම්මට හීනියට හයියක් වෙන්න හිතන එකෙක්.


හැබැයි වෙලාවකට නාහෙට අහන්නැති එකෙක්. ඒ නිසාම ගුඩ්ඩු එක්ක නයිට් ෂිෆ්ට් එකක් කරන්න ඔහු කෝච්චියෙන් වෙනත් නගරයකට එනවා. කට කියෙව්වට මොකද රෑ වෙනකොට මිනිහා බුදි. කොහෙවත් නොයා හිටියොත් ජිලෙබි කියන පැණි වළලු ගෙනත් දෙන පොරොන්දුවට ගුඩ්ඩු ඔහුව ස්ටේෂන් බංකුව උඩ තියලා යනවා. හොඳ නින්දකට පස්සේ ඇහැරෙන සරූ, ගුඩ්ඩුව හොයන්න ගන්නවා. ඉන්නේ කොහෙද මොනවත් දන්නැති සරූ ට එකම එක ඉමේජ් එකක් ඔළුවේ ඉතුරු වෙනවා, ඒ ස්ටේෂන් එක ඉස්සරහ තියෙන කහපාට ලොකු වතුර ටැංකිය. කෝච්චියක් අස්සෙත් ගුඩ්ඩුව හොයනවා, දන්නෙම නැතිව නින්ද යනවා. ඇහැරෙන්නේ කෝච්චිය බටහිර බෙංගාලය දිහාවට ඇදෙනකොට. නවතින්නේ කොල්කටාවේදී. ඉන්දියාව බාෂා 22ක් කතා කරනවා. කොල්කටාවේ අය කතා කරන්නේ බෙංගාලි, එයාලට හින්දි තේරෙන්නේ අඩුවෙන්. ඒ හින්දා සරූ කියන දේ අහන්න කවුරුත් හිටියේ නෑ, ඔන්න ඔතන ඉඳන් තමයි කතාවේ ටර්නින් පොයින්ට්ස් ටික සලකුණු වෙන්නේ.


2016 දී තිරගත වුණු ‘ලයන්’ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂකවරයෙක් වෙන ‘ගාර්ත් ඩාවිස්’ (Garth Davis) මේක, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඇමරිකාව කියන රටවල් තුනේම ජොයින්ට් ප්‍රඩක්ෂන් එකක්. රංගනයෙන් සරූගේ චරිතය කරන්නේ අපි කවුරුත් දන්න කෙනෙක්. ‘දේව් පටෙල්’ (Dev Patel) දේව් පටෙල් වෙන්න කලින් එයා ‘ස්ලම්ඩෝග් මිලියනයර්’ (Slumdog Millionaire) ‘ජමාල් මලික්’. ඊටපස්සේ මම ඔහුව දකින්නේ, එලන් ඩි ජෙනරස්ගේ, ‘TheEllenShow ඉන්ටවීව් එකකින්. ඒ ලයන් චිත්‍රපටියේ ප්රෝමොෂනල් ඉන්ටවීව් එකක්. එහෙම තමයි චිත්‍රපටිය බැලෙන්නේ. ජමාල් දැන් හැන්සම් කොල්ලෙක්.


තාක්ෂණය කියන්නේ හැම තැනකදීම බෙනිෆිට්ස් පරයා යන දෝෂාරෝපණයක්. කොයි තරම් හොඳ දේවල් තාක්ෂණය හරහා මිනිසුන්ට කරන්න පුළුවන් උනත් පොඩි අඩුවක් වැරද්දක් කරේ තියාගෙන පරම්පරා ගණන් ශාප කර කර රහ කරන්න පුළුවන් මොකද්දෝ අප්සට් දෙයක්. ඕස්ටේලියාවේදී දැකපු ජලෙබි පැණි වළල්ලක් නිසා, ස්ටේෂමක් ලඟ කහපාට වතුර ටැංකියක් සාක්කියට තියාගෙන මෙල්බර්න් නුවර ඉඳන් ඉන්දියාවේ ගනේෂ් තලෙයි වෙනකම් යාකරගෙන යාකරගෙන එන්න පුළුවන් වුණු ටූල් එකක්. ‘සරූ බ්‍රයලි’ (Saroo Brierley) ට දුප්පත් ගමේ නිකම්ම නිකම් ‘සරූ’ වෙන්න හදලා දුන්නු මොමෙන්ට් එකක්. ගූගල් එකේ අපිට ‘සෙක්ස්’ සර්ච් කරන්නත් පුළුවන්, නැත්නම් අපිට මග අරුණු කාවහරි හොයාගන්නත් පුළුවන්. ‘Google Earth නිසා සරූ එයාව බිහිකරපු අම්මව අවුරුදු 25 කට පස්සේ ආයෙම හොයාගත්තා.  ඉන්ස්ටග්‍රෑම් නිසා අවුරුදු 15 කට පස්සේ පුංචි කාලේ මට හිටපු පෑනේ මිතුරා මට ආයෙම හම්බුනා. තාක්ෂණය කියන්නේ මිනිසාගේ අතින් මිනිසාට වුණු සුන්දර අත් වැරද්දක්. හොඳ පැත්තට ගත්තොත් ‘ලයන්’ ඒකට උදාහරණයක් !


අනූ පෙරේරා | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.