Ads Top

'දරාගැනීම' වෙසක් කූඩුවෙන් ඉගැන ගමු !


අද වෙසක් දවස !!
හදපු කූඩු එල්වන, එළිගනවන දවස 
හැමදේම ඔන්ලයින් වුණු යුගයක පවා 
අපි තාමත් කූඩු හදනවා, අලවනවා, 
ඊළඟ පරපුරට හෑන්ඩ් ඕවර් කරනවා 
මේ දේවල් කරන විදිය, ඉස්සර වුණු අත්වැරදීම් 
රස කතන්දර ඔක්කොම 
බට කපනකොට වැදුණු පිහි පාරවල් 
කපාපු කෝටු වලින් කඩු ෆයිට් කළ විදිය 
නෙළුම් මලක්, තරුවක්, අටපට්ටමක් වගේම 
මේ විදියටත් හදලා බලමුද කියලා කරාපු නව නිර්මාණ 
අලවන පාට තීරණය කරගන්නට බැරිව දාගත්ත වලි ටික 
අටපට්ටමක කොටු හයම අලෝපු විදිය 
හදපු කූඩුවේ සව්කොළ ඉරාගෙන ඇඟිලි ගිය විදිය 
දොරෙන් එළියට ගන්න බැරි තරං විසාලෙට හදපු කූඩු 
අන්තිමේ ගේ ඇතුලේම එල්ලපු විදිය 
ඒ ඔක්කොම මිහිරි මතක ! 
හැබැයි මට තාම තේරෙන්නේ නෑ 
අර අවසානෙට ශාප කරන කොටස 
'දැන් ළමයින්ට මේ මුකුත් නෑ' කියන කොටස 
ඒ ශාපෙට මාත් අහුවෙලා තියෙනවා 
මගෙම දෙමාපියන්ගෙන් නොසෑහෙන්න 
ඒත් මට හිතෙන්නෙම, 
ඒ පරම්පරාව දැනගන්නේ කොහොමද, 
අපි දේවල් උන්ට නොකියනකොට 
අපේ අත්දැකීම් උන්ට නොදෙනකොට !! 
එක පරම්පරාවක් මේ වරද කරපිට ගන්නම වෙනවා, 
නැත්තම් මේ දෝෂාරෝපණය දිගටම යනවා 
මං යෝජනා කරන්නේ, 
මේ වරද අපේ පරම්පරාව බාර ගනිම්මු, ඒ වරද නිවරදි කරමු 
පොඩි උන්ට කියා දෙමු 
වෙසක් කූඩුවෙන් හැදෙමු ! 
ඒ කතන්දරේ කියාදෙමු ! 
'දරාගැනීම' කියන ලොකුම ජීවිත පාඩම 
අපි වෙසක් කූඩුවෙන් ඉගෙන ගමු 
මහන්සිවෙලා බට පතුරු කපලා, ඒවා එකට තියලා ගැටගහලා, 
සරසලා වැරදි ගොන්නක් මැදින් හදන්න, ගොඩදාගන්න හදන 
ජීවිතය කියන වෙසක් කූඩුව 
අන්තිමේ රාත්‍රියක එල්ලලා තියෙනකොට 
සමහර ඒවා තෙමෙනවා, සමහර ඒවා පිච්චිලා අලු වෙනවා, 
සමහර ඒවා බේරෙනවා 
දන්න වැඩ ඔක්කොම දාලා ඒක බේරාගන්නවා වෙනුවට 
අපි බලා ඉමු නොසිතූ මොහොතක තෙමෙන, දැවෙන වෙසක් කූඩුව දිහා 
අන්න ඒකයි වෙන දවස්වලට නැතිව 
අපි, බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිදුවූණු දිනයේම 
වෙසක් කූඩුවක් හදන්න විශේෂ කරගන්නේ 
උන්වහන්සේ වදාළ 'ජීවිතාවබෝධය උදෙසා' !!! 

අනූ පෙරේරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.