Ads Top

Introducing කුමාර කාශ්‍යප - පොඩි කාලේ සීන්ස් - 01


Introducing කුමාර කාශ්‍යප - පොඩි කාලේ සීන්ස් - 01 

සිත්තම් මායා | අනූ පෙරේරා 

Introducing කුමාර කාශ්‍යප, 

රාළහාමි රාළහාමි කීවට
එයැයි පොලීසි නිළධාරියකු නොවීය
දුම්රිය නිළධාරියකු විය
මගේ කුඩා කාලයම අපි
රටේ එහෙටත් මෙහෙටත්
උඩහටත් පහළටත්
ට්‍රාන්ස්සර්ම වනු මතකය
පසුව නිළ වශයෙන් 
හස්තිශෛලපුරයේ නවත්තන්නට 
රාළහාමීත් මහාරාණියත් තීරණය කර ඇත්තෝය
ඉතිං මාගේ මතකය
දස වසරක්ම ක්වාටර්ස් ජීවිතය හා ගැටුණි, ගෙවුණි
එය මාගේ කුඩා කාලයේ සරුම අවධිය යි
එකල ද ජංගි කොටයක් ඇඳගෙන  
ගැන්සි බැහැගෙන කණ්ඩායමක් රන් කරගෙන සිටියාය
ඒ නම් කිහිපයකි
මං, සුදූ, ජොන්ගිරි බට්ටා, සඳමාලි, අශානි, දෙකේ නිපුණි, තුනේ නිපුණි, චතුරිකා, ඩිල්මි, ඩිල්මි අක්කා, තරිඳු, චින්තක, හර්ෂ... 
ඔය මතක කිහිපයකි
ඔවුන් මට වඩා වැඩිමහල් ය
හැබැයි පණ්ඩිතම මම ය
සුදූ හොඳම යාළුවා ය
ඕන ගේමකට ඔට්ටු ය
අද මෙන්මය
වෙනසකට ඇත්තේ ජංගියක් පමණක් ඇඳ නොසිටීමය 
කියන දේ නාහෙට නොඅහන්නේය
එකම අයියණ්ඩිය එසේ නොවුණාය
ඔහුට අපි කුමාර කාශ්‍යප යැයි කියම්මු
එය ඔහුගේ රියල් නම නොවේය
ඔහු සුවච කීකරුය
උගෙනීමට දක්සය
සම්පූර්ණයෙන්ම මාගේ අනෙක් පසය
එනමුත් ඔහුටත් ගැන්සියක් සිටියෝය 
ඔවුන් සැට් වී ක්‍රිකට් අත් ගැසුවෝය
මටත් බිඳක් නොදුන්නොත් බැට් එක උස්සාගෙන දුවනවාය
එයට උදව් කරන්නේ මාගේ ගැන්සිය ය
ඉතිං අයියලා බය ය
ඒ අපි අඬා වැලපී ඉහළ උසාවියෙන් තරඟ තහනම් ගෙනේවි කියාය 
" අපෝ මළ කරදර බං මෙයාලා "
ජංගි ඇඳන් ඉන්න මගේ ගැන්සියට කියනවා ය 
අඬන්නට කට ඩී අකුර අනිත් පැත්ත ගසනවාය 
ඔවුන් නැවතත් බය වෙනවාය 
ඒ උනාට අපේ අයියා මට ආදරේ ය 
බැට් එක අතට දී බෝලය බිම දිගේ එවනවා ය 
බැට් එකට වඩා මා ටිකක් උසය
මෙන්න මෙච්චරක් 
" ඒ......යි.... අයියේ....... බිම එප, උඩිං උඩිං "
මං බෙරිහන් දෙනවා ය
ගහන්නට පුළුවන් මඟුලක් ද නැත
ඒත් පඩ ටෝක්ස් ය
ඉතිං ඔහු උඩින් දමනවාය
මම අවුට් ය 
මුළු හදින් ම 
ආ නෑ මුළු ඇඟෙන්ම 
බැට් එක මා බදාගන්නවා ය
"අනේ තව එක පාරක් දෙන්න බෑද"
මා කට උණ්ඩි කරගෙන අසනවා ය
ටීම් එකට දුක හිතෙනවා ය
මට තවත් අවස්ථාවක් දෙනවා ය
තවත් පණ්ඩිත කතා බොහොමය 
උන්ගේ වාසනාවට මා අවුට් වෙනවා ය
ඊටපසුව කෙළේගුණ දිය යුතුය
ඔවුන් තරඟය හමාර කරන තෙක්
පොඩි පොඩි බටු ඇට සෙට් එක
හය හතරින් එහාට රකිනවා ය
එය වෙනමම ආතල් එකක් විය
සීමාවෙන් එහාට එන බෝල අපි රකිනවා ය
ජොන්ගිරි බට්ටා හරි කීකරුය
ඈත වතු වලට යන බෝල හොයාගෙන අතටම ගෙනත් දෙනවා ය
"ඔතන ඉඳන් දාන්න මෙහාට බෝලේ"
කිව්වත් අත කරකෝ කරකෝ ලඟටම ගෙනත් දෙනවා ය
මට බෝලය සෙට් උනාම වැඩේ දරුණුය
අතට ගත් තැන ඉඳන්ම විසි කරනවා ය
ඇතැම් විට එය ඔළුවටත් උඩින් උඩු ගසයි
ඇතැම් විට වෙනත් වත්තකට යයි
ඇතැම් විට වෙර දමා කෙලින් විසි කළත්
අඩි තුනකට එහායින් වැටී මම ම දිව විත් අඩි තුනෙන් තුනට බෝලය විසි කරයි
"නංගි බබී අතට බෝලේ ගෙනත් දෙන්න යැයි වැඳ වැටුණත්"
මා ඉන්නා තැන සිට එය විසි කරයි
පිස්සෙක් මෙන් හැසිරෙයි
අයියා බයිට් වෙයි 
අම්මා ස්පොට් එකට වේවැලත් රැගෙන එනවා ය
කොල්ලන් සී සී කඩ දුවනවෝ ය
කුමාර කාශ්‍යප මා වඩා පිම්මට ගෙදර ය 
ඒ දුවන අතරේ මා ඔහුගේ කොන්ඩේ තදින් අල්ලාගෙන ය 
ගුටි කෑවොත් ඊටවඩා රිදෙනවා ය 
ඒත් ඔහු ආයි ආයි කියද්දි මට හිනා ය 
නැති නොවන්නේ අභිමානය පමණි 
ගෙදර ආ විගස දෙදෙනාම යහමින් ගුටි කනවෝය 
"ඉතිං අප්පා එන්න හිටියේ නංගිටත් බෝල් ගහන්න ඕනේ කීවනේ"
කුමාර කාශ්‍යප මහාරාණීය ඉදිරියේ වැඳ වැටෙනවා ය 
මට වගක්වත් නැතුවා ය !

ඒ හමාර උනේ ක්‍රිකත් කතාවට. තව එවැනි මාගේ කුඩා කළ වික්‍රමයක් අවැසි නම් පවසන්ඩ. ආ නැත්තම් ඔය පහළ හහා ඉමෝජිය ඔබන්ඩ. 

#අනුවා
Siththam Maya | Anu Perera. Powered by Blogger.