Ads Top

ඇස් වැහෙන්න කලින් කතා කරන්න, නේත්‍රා

Starring දමිතා අබේරත්න, මිෂෙල් දිල්හාරා 


මව්වරුන්ගේ දිනයට සමගාමීව මැයි 13 වැනිදා ‘අභිෂේකා විමලවීර’ (Abhisheka Wimalaweera) යූටියුබ් චැනලයේ ප්‍රිමියර් වුණු ‘නේත්‍රා’ ගීතය, අභිශේකාගේ අනිත් හැම ගීතයක් වගේම මාස්ටර් පීස් එකක්.දෙකොපුල් කඳුලින් තෙමා මම ඇගේ හඬට වශී වුණු පළමු ගීතය. ‘සීමා නෑ’, ‘නිස්සාර’, ‘රිදි රිදී’, ‘හවසක මා’ කියන්නේ ඔබ මම හරිම ආදරෙන් වැළඳ ගත්තු ඇගේ හඬ ප්‍රතිභාවයන්. කල් හෝ නා හෝ චිත්‍රපටිය අවසානයේ ඉමෝෂන්ස් තොගයක් එකපාර ඇටෑක් වෙලා අර පපුවෙන් උගුරට එන වේදනාව, පුද්ගලිකව මට අභිශේකාගේ සිංදු වල දැනෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයේ චිත්‍රපටි කෙරුවාව ඉගෙන ගන්න කාලේ එක දවසක, හියුමිනිටීස් එක කිට්ටුව තියෙන අතු විහිදිච්ච සියඹලා ගස් හරියේ ඇන්ටික් බිල්ඩිමක එල්ලිලා අභිෂේකා මොනවද හොයනවා, ඒ කලින් දවසේ අමතකව ගිය ඇගේ හෑන්ඩ් බෑග් එක, උදව්වට ආපු අපිත් එක්ක ඇය හිනාවෙවී කිව්වා. ඒක තමයි ඇය සමඟ මට තියෙන එකම මතකය. ඇය ලොස් නැතිව කතා කරන නිහතමානී පුද්ගලයෙක් කියන්න ඉතිරි වුණු එකම සාක්කිය.


ගීතය, ‘අම්මා’ කියන භූමිකාව අවස්ථා 3ක් වටා කතාබහට ලක් කරනවා;


  1. රෙදි මහන මවක්, සන්නාලියක්
  2. ලෙඩ ඇඳක වැතිරුණු මවක්
  3. මේකප් එකක් දාන මවක්


ආරම්භයේ සිට අවසානය දක්වා තියෙන හැම ඩයලොග් එකක්ම බොහොම සීරුවට, ඒ ඒ අවස්ථා වලට ගැලපෙන විදියට, ඒ ඒ ටෝන් එකට ඩිලිවර් වෙනවා. ඒ මව්වරුන්ගේ භූමිකා තුන හැම තැනකම අවස්ථා තුනක් විදියට අවසානය දක්වාම ඇදෙනවා. ළමයෙක්ගේ පැත්තෙන් අපි ඒ හැම අවස්ථාවක්ම නියෝජනය කරනවා. රෙදි මහමින් ආර්ථිකය තමන්ගේ උරහිසට ගත්තු මවක්, බේබදු තාත්තෙක් ඉන්න බවට ඇහැ ගාව ඇති ඉදිමුමක්, උස් පහත් වෙන ඉඳිකට්ට වාගේම ඒකාකාරී ජීවිතයක හිඳ නිමැවූ රෙද්දක් සේ පවුල ලස්සන කරන්නට වෙර දරන මවක් පළමු අවස්ථාවෙනුත්, අපි පුංචි කාලේ ඇය කොයිතරම්  කාර්යබහුල උනත් අපි වෙනුවෙන් ඇය මවපු වෙලාව, දරුවන් විදියට අපිට ඇය වෙනුවෙන් නැති වෙනකොට, විෂේශයෙන්ම ඇය අසනීපව ඉන්නකොට, බෙහෙත් පෙත්තක් කඩා දෙන්න අපිට වෙලාව නැති වෙනකොටත් ආදරේ අල්ප මාත්‍රාවක් අඩු නොකර දරුවන් අනුමත කරන මවක් දෙවැනි අවස්ථාවෙන්නුත්, ඉතා කාර්යබහුල ලෙස කාර්යාලයක වෙහෙසෙනවා ලෙස පෙනෙන හෝ ආංගික අභිනයන්ගෙන් බාගදා ගණිකාවක යැයි පෙන්වෙන මවක් තුන්වැනි අවස්ථාවෙනුත් පෙන්වා දෙනවා. අම්මා කෙනෙක් කොයි කොයි තරාතිරම්වල හිටියත් ඒ හැම අවස්ථාවකම තමන්ගේ දරුවන්ගෙන් බැනුම් අහනවා. ඇත්තටම ඒ ඇයි? හැම අතින්ම ශක්තිමත් අම්මෙකුට තියෙන එකම දුර්වලතාවල නිසා, දරුවෙකුට දක්වන අසීමාන්තික ආදරයේ දුර්වලතාවය නිසා.


ගීතය ලියැවෙන්නේ ‘ජනිත් විතාරණගේ’ (Janith Witharanage) ගෙ කාව්‍ය නිර්මාණයක් ඇසුරු කරගෙන, ඔහු විසින්මයි. වීඩියෝ එක අවසානයේ දී ඒක කියැවෙනවා. සංගීතය නැති තැන වචන කියන්නේ නිකම්ම අකුරු ටිකක් විතරයි. ‘දිලුම් තේජාන්’ (Dilum Thejan) සංගීතයෙන් ගීතයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරනවා. සංස්කරණ ශිල්පියා විදියට ‘චමිල් පතිරණ’ (Chamil Pathirana) ගීතයේ ෆීලින් එකට ගැළපෙනම විදියට ඩල් කලර් ටෝන් එකක් ගෙනල්ලා තියෙනවා. ඒ ඔක්කොමත් එක්කම මට ඒ end credits වල ලොකු හිස්කමක් දැනෙනවා. මට හිතෙනවා එතැන casting credits තිබ්බා නම් හොඳයි කියලා. මොකද සංගීතයෙන්, පද පෙළින්, හඬින් වගේම නිර්මාණයට දායක වුණු හැම තාක්ෂණික ශිල්පියෙක් වගේම ප්‍රේක්ෂකයාට ලැබුණු නේත්‍රා ගීතය නෙක්ස්ට් ලෙවල් එකකට අරන් ගිහින් තියෙන්නේ, ඒ මුහුණු දෙක. ‘දමිතා අබේරත්න’ (Damitha Abeyratne) සහ ‘මිෂෙල් දිල්හාරා’ (Michelle Dilhara)


‘දමිතා අබේරත්න’ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්. හරියටම ‘රොෂාන් රවීන්ද්‍ර’ වෙනුවෙන් තියෙන ෆුල් ෆෑන් ලව් එක මට ඇය වෙනුවෙනුත් ඒ විදියටම තියෙනවා. පළමු වතාවට මම චිත්‍රපටියක පෝස්ට් ප්‍රඩක්ෂන් එකක වැඩ කරද්දී ඇය මට මුණගැහුණු ලංකාවේ පළවෙනි ආර්ටිස්ට්. ඒ කැළණියේ සරසවි ෆිල්ම් ස්ටුඩියෝ එකේදී. ඇය ලංකාවට ඉන්න අතලොස්සක ‘වර්සටයිල් ඇක්ට්‍රස්’ කෙනෙක්. ගීතයේ ඊළඟ කැරැක්ටර් එක, මිෂෙල් දිල්හාරා, මේ, මම ඇයව තිරයෙන් දකින පළමු අවස්ථාව. මොකද දැන් දැන් ටෙලි නාට්‍ය බලන එකෙන් ඈත් වෙන හින්දදෝ නව පරපුරේ ගොඩක් නළු නිළියන් අපි අතින් මඟ හැරෙනවා. වීඩියෝ එකේ දමිතා අබේරත්න කියන ප්‍රතිභාවපූර්ණ රංගන ශිල්පිණිය සමඟ කරට කර රඟපාන මේ දක්ෂ පොඩි කෙල්ල කවුද කියලා හොයාගන්න මට යහළුවන් කීප දෙනෙකුටම කරදර දෙන්න සිද්ධ වුණා. බැරිම තැන මගේ හිතවතෙක් නිදි විකාරෙන් වාගේ ඒ ‘මිෂෙල් ඔබාමා’ ගෙ නෑ කෙනෙක් කියලත් කිව්වා. කෙසේනමුත් ඇය සැබෑ දක්ෂයෙක්. රංගන ශිල්පිණියක්, කතුවරියක්, ගායිකාවක්, සමාජ සේවා ක්‍රියාකාරිනියක් වගේ පැතිකඩ කීපයකම ක්‍රියාකාරී සාමාජිකාවක් වෙනවා. 2019 දී ඇය රයිගම් ටෙලීස් වල ‘ජනප්‍රියතම නිළිය’ කාණ්ඩයට නොමිනේට් වෙනවා, ඒ වගේම 2020 දී ඇය ‘හොඳම නැගී එන නිළිය’ කාණ්ඩයට නොමිනේට් වෙනවා. ඊට අමතරව එකී මෙකි නොකී හැම ජයග්‍රහණයක්ම ඇයගේ විකිපීඩියා පිටුවේ හොඳට සඳහන් වෙනවා. මෙතැනින් ගිහින් බලන්න.


ගීතය අවසන් වෙන්නේ, හැම අම්මෙක්ම ලඟ පාත නැති තමන්ගේ දරුවාගෙන් අහන එකම පොදු ප්‍රශ්නයෙන්, ‘පුතේ කොහෙද ඉන්නේ’ ඒකට ලස්සන උත්තරයක් අපිට ලැබෙනවා.


ඇස් වැහෙන්න කලින් කතා කරන්න, අම්මා තාම බලං ඉන්නවා


ඔව්, ඒ ඇමතුම අපේ මොබයිල් එකට කවදාවත් නොඑන දවසක් ඒවි, එදාට දුක් වනවාට වැඩිය අද, මේ මොහොතේ ඇය සමඟ සතුටින් ජීවත් වෙමු. අපේ ආදරයෙන් ඇයව ජීවත් කරවමු. මව්වරුන් සමරන්න එක දවසක් විතරක් ඕනේ නෑ තමයි, ඒත් ඒකවත් නොතිබුණා නම් අපි ඒ දවසේවත් ඇයව අගය කරන්න ෆේස්බුක් එකට පෝස්ට් එකක් ලියන්නේ නෑ, ෆොටෝ එකක් හදන්නේ නෑ. එච්චරටම අපි ආත්මාර්ථකාමී දරුවන් !


නේත්‍රා රැලි හංග ගන්නට

ගැල්වූ සායම් දියර ඇත්නම්

කුසේ ගින්දර නිවන බත් පත

පිළුණු වී ලග තියෙනවා නම්


තුනට හතරට නැමුව මගේ රුව

පසුම්බියේ තනි රකිනවානම්

ස්තිරයි ඔය නිදා ඉන්නේ

මගේ අම්මා තමයි එහෙනම්


පැළුනු දෙතොලග හිනා කඳුලක් 

හොයාගන්නට බැරි නොවෙයි නම්

නාලගිරි මත් වෙලා ඇවිදින්

ඇන්ද සලකුණු පිටේ ඇත්නම්

 

දැනුණු නින්දා දුකම හින්දා

මැරුණු බව සිවිලිම කියයි නම්

ස්තිරයි ඔය නිදා ඉන්නේ

මගේ අම්මා තමයි එහෙනම්

 

ගල්වලේ වැඩ කරපු දවසක

කැඩුනු සුළැඟිලි කොටය ඇත්නම්

ඇදුම එනවට හදිස්සියකදි

ගන්න පෙති ටික හම්බුනානම්


මගදී අහුලපු වෙරළු සියඹලා

ඉනේ පැත්තක තියෙනවා නම්

ස්තිරයි ඔය නිදා ඉන්නේ

මගේ අම්මා තමයි එහෙනම්


_________________________________________

අනූ පෙරේරා | සිත්තම් මායා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.