Ads Top

Meri Pyaari Bindu, ඒ ආදරේට හරියටම අවුරුදු 3 ක් !

චිත්‍රපටියක එන්ඩ් ක්‍රෙඩිට්ස් යනකොටම නැගිටලා චිත්‍රපටි ශාලාවෙන් පිටවෙන පුරුද්දක් අපේ තියෙනවා. හැබැයි බයිස්කෝප් වලට බොක්කෙන්ම ලව් කරන උන් වගේම බයිස්කෝප් ඉගෙන ගත්ත හුඟක් දෙනෙක් එන්ඩ් ක්‍රෙඩිට්ස් ඉවර වෙනකම් සීට් එකට වෙලා එතැනින් එහාට මෙහාට යන මිනිස්සුන්ගේ හෙවනැලි අතරෙන් ස්ක්‍රීන් එක දිහා බලාන ඉන්නවා. ඒ ගෞරවයක් විදියට. කෙනෙකුට ඇති වුණු පුංචි අදහසක් ඩිවලොප් කරලා රිස්ක් එකක් අරගෙන මහන්සි වෙලා  අඩි තිහකට, හතළිහකට ගෙනැල්ලා ප්‍රේක්ෂකයෙකුට දෙන්නට කැපකිරීම් කරපු, මහන්සි වුණු හැම නාමයක් වෙනුවෙන්ම කරන ගෞරව කිරීමක් විදියට.


ඒත් එක්කම පංගු පේරුවක් නැතිවම හැම කෙනෙක්ම සීට් එකේ රඳවන, නම් ටික ඉවරවෙලා හරි කමක් නෑ මැජික් එකක්, ඒක හීනයක් නේද කියලා හිතන්න පොළඹවන විදියේ චිත්‍රපටිත් අපි ජීවිතේ ඕනෑ තරම් බලලා තියෙනවා. 2017 මැයි 12 වෙනිදා ඒ කියන්නේ අදට හරියටම අවුරුදු 03 කට කලින් තිරගත වුණු ‘මෙරි පියාරි බිංදු’ කියන්නෙත් අන්න ඒ ජාතියේ ෆිල්ම් එකක්. අති සාර්ථක ලේඛකයෙක් සහ ඔහුගේ පැරණි පෙම්වතිය වටා ගෙතුණු ෆැන්ටසි ලව් ස්ටෝරියක්. අපි කතාවටත් කියන්නේ අපේ ජීවිතේ වෙන සමහර සිද්දි හරියට හින්දි ෆිල්ම් එකක වගේ කියලා. ‘මෙරි පියාරි බිංදු’ චිත්‍රපටිය බැලුවනම් හිතෙයි, ඇත්තටම අපි ජීවිතේ දකින්න ආසා කරන විදිය, අපි හින්දි ෆිල්ම් එකකින් බලාපොරොත්තු වෙනවා කියන එක.


‘අභිමන්යු රෝයි’ ආදරේට කියන්නේ  ‘බුබ්ලා’ සහ ‘බිංදු ශංකර්නාරායන්’ කියන්නේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවො. හොඳම යාළුවන්ට, ආදරවන්තයින් වෙන්න ලේසියි කියලා කියනවනේ. ඒත් ‘අභී’ ගෙ කතාව එහෙම නෑ. නැත්තෙත් නෑ. ඒක සංකීර්ණ බැඳීමක්. ‘බිංදු’ කියන්නේ එක තැනක හිත තියාගන්න බැරි, ජීවිතේ ගෙවිලා ඉවර වෙන්න කලින් ආස හැමදේම ට්‍රයි කරලා බලන්න ඕනෑ කියලා හිතන කෙල්ලෙක්. බිංදු එක්ක හැරුණු කොට අභී කියන්නේ ටිකක් ඉන්ට්‍රෝවර්ට් කොල්ලෙක්. ‘මෙරි පියාරි බිංදු’ මගේ ජීවිතේ කැමතිම තුන්වෙනි බයිස්කෝප් එක වෙන්නේ ඒ නිසා. ගොඩක් තැන් වල මම මාවම අභීගෙනුත් බිංදුගෙනුත් දකින හින්දා.  


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ‘අක්ෂේ රෝයි’ (Akshay Roy) තිර පිටපත ලියන්නේ, ‘සුප්රෝතීම් සෙන්ගුප්තා’ (Suprotim Sengupta). ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ ‘පරිනීති චොප්රා’ (Parineeti Chopra) සහ ‘ආයුෂ්මාන් කුරානා’ (Ayushmanna Khurranna), මගේ තුන්වැනි බොලිවුඩ් ක්‍රෂ් එක. ‘හසී තෝ පසී’ (Hasee Tho Phasee) චිත්‍රපටියෙන් මුහුණ හුරු වුණු ‘පරිනීති’ කියන්නේ මාකටිං ඇගේම තියෙන පර්සනලිටි එකක්. ලෝකෙම අඳුනන ‘ප්‍රියංකා චොප්රා’ (Priyanka Chopra) ගෙ ලඟම ඥාති සහෝදරියක්. හැබැයි ‘පරී’ කියන්නේ ‘ප්‍රියංකා’ගෙ කර මතින් බොලිවුඩ් අහසට පායපු තරුවක් නෙවෙයි. ඒ නිසාම තමයි ‘චොප්රා’ කුලකයේ උනත් ඒ දෙන්නගේ රංගන හැකියාව එකිනෙකට වෙනස් වෙන්නේ.


‘අයුෂ්මාන් කුරානා’ බොලිවුඩයේ කිසිම නෑකමක් නැතිව ‘විකි ඩෝනර්’ (Vicky Donor) ෆිල්ම් එකෙන් ඒ අහසට පායපු තරුවක්. යාළුවෙකුට කියලා පෙන් එකට දාගත්ත ෆිල්ම් පහ, හයක ෆිල්ම් තුනකම හිටියේ එකම මූණ. ඒ අයුෂ්මාන් ගෙ මූණ. ‘ෂාරුක් ඛාන්’ ‘රන්වීර් සිං’ ට පස්සේ මගේ හිත නැවතුණු මුහුණ. ‘විකි ඩෝනර්’ , ‘බේවකූෆියාන්’, ‘හවායි ස්යාදා’ ෆිල්ම් තුනක් පිට පිට බලන්න හේතු වුණු මුහුණ. පස්සේ දවසක මං තේරුම් ගත්තා, මං බැඳුනේ ඔහුගේ වැඩ වලට මිස ඔහුගේ මුහුණට නොවන බව. ‘ගායකයෙක්’, ‘ලියන්නෙක්’ ‘නිර්මාණකරුවෙක්’ තෝරා බේරාගෙන හොඳ නිර්මාණ වලට දායකත්වය දෙන ‘රංගන ශිල්පියෙක්’ උත්සාහයෙන් කැපවීමෙන් ‘සාර්ථක වුණු මිනිහෙක්’.


“ආදරේ කරන්න නම් හුඟාක් දෙනෙක් ඉගැන්නුවා, ඒත් ආදරේ අමතක කරන්න කාටවත් කියා දෙන්න බැරි උනා” මෙරී පියාර් බිංදු චිත්‍රපටිය පටන් ගන්නෙම ඒ පන්ච් ලයින් එකෙන්. හින්දි සිනමාව යුගයෙන් යුගයට මිනිස්සුන්ගේ මතකේ රැඳෙන්නේ, ඒ ඒ චිත්‍රපටි වල සිංදුත් එක්ක. ඉන්දියානුවෝයි සිනමාවයි අතරේ ලොකු සම්බන්ධකමක්. හරියට ‘ඒ දිල් හේ මුෂ්කිල්’ ෆිල්ම් එකේ ගීත ඇල්බමයේ හැම සිංදුවකටම පිස්සුවෙන් වගේ මිනිස්සු කැමති උනා වගේම පියාරි බිංදු ගීත ඇල්බමයේ සිංදු වලටත් මිනිස්සු ආදරේ කරන්න ගත්තා. එතැනින් ‘අෆීමි’ (Afeemi) කියන්නේ හැමදාම මගේ හිත නිවාලන ගීතය. කොයි තරම් ආදරයක් ලැබුණත් ‘Meri Pyaari  Bindu කියන්නේ අදහාගන්න බැරි විදියට ෆ්ලොප් වුණු, අසාර්ථක වුණ ෆිල්ම් එකක්. මං තාමත් කල්පනා කරනවා එච්චර ලස්සන ෆ්රේම්ස් ටිකක් තියෙන, හැමවෙලාවෙම ජිවිතේ හැපී එන්ඩින් එකක් වෙනුවට ඇත්තම කතා කළාට, හම්බුන දඬුවම ලොකු වැඩි නැද්ද ?


 Maana Ke Hum Yaar Nahi – Lo Te Hai Ke Pyar Nahi

අපි යාළුවොත් නෙවෙයි - අපි ආදරවන්තයොත් නෙවෙයි 


ඒ විදියට අවසන් වුණාට, ‘මෙරී පියාරි බිංදු’ කියන්නේ තාමත් සමහර හිත්වල පැලපදියම් වුණු සිනමා නිර්මාණයක්. අභී, බිංදු අපේ ආදරේ හැමදාම ඔයාලට !!  


අනූ පෙරේරා | සිත්තම් මායා | 3rd Favourite Baiscope 

Siththam Maya | Anu Perera. Powered by Blogger.