Ads Top

කතාවක් එක්ක ප්‍රශ්නයක් !


මම දූරියන් වගේ,

ගඳයි.. ගඳයි නෙමෙයි, සුවඳ වැඩි කමට ගඳයි. දූරියන් වලට මිනිස්සු එච්චර කැමති නැහැ. එච්චර නෙමෙයි. සමහරු කොහොමත් කැමති නැහැ. ඇල්ලුවොත් කටු ඇනෙනවා, හීරෙනවා. තුවාල වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් සමහරු අල්ලන්න පවා අකමැතියි. ඒත් සමහරු ඉන්නවා ඒ කටු ලෙල්ල කොහොමින් කොහොම හරි සුද්ද කරගෙන ඇතුළෙ කොයි වගේද තියෙන්නෙ කියල බලන්න උත්සහ කරන. සමහරු ලෙල්ල කපපු ගමන් එන සුවඳ මිශ්‍ර ගඳට අකමැත්තෙන් අයින් කරල දානවා. ආයෙ අල්ලන්නවත් හිතන්නෙ නෑ. හිතන්න තියා ආයෙ දූරියන් තියෙන පැත්තකින් වත් යන්නෙ නෑ. තවත් සමහරු ඉන්නවා බොහොම ටික දෙනෙක්, මේගොල්ලො තමයි වැදගත්ම. උන් හරි දුර්ලභයි. උන් දූරියන් ගෙඩියෙ ලෙල්ලත් ගහලා ගඳත් ඉවසගෙන කොහොමින් කොහොම හරි අප්පිරියාවෙන් දූරියන් මදුලක් කටේ ඔබාගන්නවා. ඔක්කාරෙත් එක්කම කොහොම හරි ගිලදානවා. අන්න එතකොට උන් දැනගන්නවා දූරියන් කියන්නෙ මොන තරම් රසවත් පළතුරක් ද කියන එක. ඉතින් එහෙම කාපු උන් දන්නවා දූරියන් වල රහ. එදා ඉඳන් උන් 'දූරියන් ෆෑන්ස්ලා'. 


මම අරලිය ගහක්,

දවසක උඹට කලින් මම මැරෙනවා. එහෙම මැරෙන මම, මගේම මිනී වල උඩ අරලිය ගහක් වෙලා උපදිනවා. ඉපදිලා මගේම ගහේ මල් වලින් උඹේ සොහොන සුවඳවත් කරන ගමන් උඹේ පාළුවට උඹත් එක්කම ඉන්නවා. කිසිම දවසක උඹට පාළුවක් දැනෙන එකක් නෑ. මොකද දන්නවද ? 

ඒ "මම ශරීරයෙන් මියැදුණත් හදවතින්, හැඟීම් වලින්, මතකයෙන්, මම නිර්මාණය කරපු අදහස් වලින් උඹගෙ ජීවිතේ ඇතුළෙ අමරණීය වෙන නිසා."

තව දෙයක්,

මට මං ගැන කතා කරන්න ඕනෙ නම්, මම අනිවාරෙන්ම මං ගැන කතා කරනවා. මොකද මම දැනගෙන ඉන්නවා මං ගැන කතා කරන්න වෙන කවුරුත් නෑ කියලා. කතාවක් තියෙනවා තමන් ගැන තමන් කතා කිරීම මෝඩකමක් කියලා. හැබැයි මම කියනවා උඹට.. උඹට උඹ ගැන කතා කරන්න බැරි නම්, ඒක උඹේ 'නිවටකම' කියලා.

මම දූරියන්, මම අරලිය, මම අකුරු, මම වචන, මම අදහස්. 

ඉතින් මම උඹෙන් අහනවා අන්තිමටම උඹ කවුද? ඔව්, උඹ කවුද ?

රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.