Ads Top

පිච්චෙන්නේ නැතුව ආදරය කරන්න

"ඔබ මලකට ආදරේ නම් ඒ මල කඩන්න එපා. මොකද කැඩුණු මල ඉක්මනින්ම පරවෙනවා. මලට ආදරේ නම් මල, මල විදියටම තියන්න. ආදරය කියන්නේ අයිති කර ගැනීම ම නෙවෙයි. ආදරය කියන්නේ අගය කිරීමක්..." මෙහෙම කියන්නේ ‘ඕශෝ’ (Osho). කීර්තිමත් චින්තකයෙක් වෙන ඕශෝ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ කියලා මං හිතනවා. මොකද ආදරය සම්බන්ධයෙන් ඔහු පළ කරලා තියන මතවාද ගැන අද කාලේ තරුණ පරම්පරාව ඕනේ තරම් දැනුම්වත්.
                                          
හරි...දැන් අපේ කතාවට යමු.

සාමාන්‍යයෙන් අපිට අපේ පෞද්ගලික ජීවිතයේ දී  ඇති වෙන මානව සබඳතා ටික, එක පෙළට ගත්තොත් අපි උඩින්ම තියන්නේ ආදරයයි. ඒ ගැන සැකයක් නෑ.  ආදරය කිව්වාම අම්මා තාත්තාට, සහෝදර සහෝදරියන්ට, මිතුරන්ට වගේම දරුවන්ටත් ඇති වෙන්නේ ආදරය ම තමයි. හැබැයි අපේ සමස්ත ජීවිත කාලයම ගත කරන්න බලාපොරොත්තුවෙන් හොයාගන්න පුද්ගල චරිතය ට අපි දක්වන්නේ ඒ හැම බැඳීමකට ම එහා ගිය විශාල පරාසයක විහිදුණු ආදරයක් එහෙමත් නැත්නම් ප්‍රේමයක්. ප්‍රේම කරන්න පටන් ගත්තාට පස්සේ ඒක නිරායාසයෙන් ම එතනින් එහාට ගිහින් කැමැත්තක්, විශේෂත්වයක්, හිස් කම් පුරවා ගැනීමක්, නැතුවම ඉන්න බැරි තත්ත්වක් සහ එතනින් එහාට විශාල තණ්හාවක් දක්වාම ගමන් කරනවා. ඇත්තටම ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. අපිටත් නොදැනීම අපේ චිත්ත අභ්‍යන්තරය තුළින්ම ඉපදෙන ලොකු රසායනික විපර්‍යාසයක්. ඊට පස්සේ අපිට උදා වෙන්නේ ම ප්‍රේමයේ ඒ රසායනික විපර්‍යාසය සහ හැඟීම් පාලනයේ මානසික ක්‍රියාවලිය එක්ක ඇති වෙන ගැටුමයි. ඒ කියන්නේ ඔබ ආදරය කරන මල කඩාගන්න උත්සහ කිරීමේදී ඇති වෙන අරගලය පටන් ගන්නේම එතනදීයි. මෙන්න මෙතනදී අපිට ඕශෝ ගේ අදහස උපයෝගී කරගන්න පුලුවන්. 

සාමාන්‍යයෙන් ඔබට පුලුවන් ද ඔබ ප්‍රේම කරන පෙම්වතා හෝ පෙම්වතිය අයිති කරගන්නේ නැතුව ආදරය කරන්න? මං අදහස් කළේ භෞතික අත්පත් කර ගැනීමට කලින් මානසිකව අත් පත් කරගන්න දරන උත්සහය ගැනයි. ඒ කියන්නේ අනෙකාගේ හිතන පතන විදිහට, අනෙකාගේ ජීවිතයට, අනෙකාගේ විලාසිතාවන්ට, අනෙකාගේ හැඟීම් දැනීම් වලට, අනෙකාගේ රුචි අරුචිකම් වලට, අනෙකාගේ සිහින වලට ඔබ ඔහුගේ හෝ ඇයගේ පෙම්වතා හෝ පෙම්වතිය කියන ආධිපත්‍යමය බලයෙන් පාලනය කරන්න උත්සහ කරන්නේ නැතුව ඔහුගේ හෝ ඇයගේ ම විදිහට ඉන්න දෙන්න පුලුවන් ද? කොටින්ම ඔබ ප්‍රේම කරන මනුස්සයාව ඕනේම ආකාරයකින් දරාගන්න පුලුවන් ද? අන්න ඒක හදවතින්ම කරන්න පුලුවන් නම් ඔබ කැමතිම ඔබේ මල කඩාගන්නේ නැතුව මලට මල විදිහට පිපිලා ඉන්න ඉඩ දෙමින් ආදරය කරන්න පුලුවන් අද්විතීය මනුෂ්‍ය ගුණාංග වලින් පිරුණු ප්‍රේම කරන්න සුදුසු ම මනුස්සයෙක් කියලා සහතික කරගන්න පුලුවන්. අනෙක් පාර්ශවයෙන් ද ඊට අදාළ ආදරය සහ ගෞරවය ඔබට ලැබෙනවා.

ඊළඟට අපි හැමෝම දන්නවා ආදරය කරන ඔබේ මගේත් අවසාන බලාපොරොත්තුව විවාහය තමයි කියලා. හැබැයි අවසානයේදී ඒ එකඟතාවයට එන්න බැරි සම්බන්ධයකදී, හිටි ගමන් අහේතුකව හෝ සහේතුකව අතරමඟදී අපිට නවතින්න වෙන තැනකදී වුණත් අනෙකාගේ ගෞරවය ආරක්ෂා කරලා දීලා, ඔහු හෝ ඇය විශ්වාස කරන පෞද්ගලික මතයට ඉඩ දෙමින්, ඔවුන්ගේ තීරණ ගැනීමේ අයිතියට ගරු කරමින් අත් හැරීමට තරම් ඔබට ඔබේ හදවත විශාල කරගන්න පුලුවන් ද? ආදරයක් කරද්දී එහෙම දෙයක් හිතන්න වත් අකමැති අධි සංවේදී මිනිස්සු තමයි අපි කවුරුත්. ඒත් ජීවිතය සහ ආදරය කියන්නේ එහෙම නිශ්චිත පූර්ව නිගමන වල ඉඳන් තීරණය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි නේ. ඉතින් එහෙම අනපේක්ෂිත හෝ අපේක්ෂිතව ම සිද්ධ වුණු අත් හැරීමකදී වුණත් ඒ ඔබට හිමි වුණු අතිශය වේදනාත්මක කාල පරිච්ඡේදයෙන් පස්සේ ඔබට ඔබේ පෙම්වතිය හෝ පෙම්වතාව අගය කරන්න පුලුවන් නම්, හැමදාම හදවතේ පිරුණු ආදරයෙන්ම සමස්ත ජීවිත කාලය පුරාම ඔහු හෝ ඇය ගැන සිහිපත් කරන්න පුලුවන් නම්, නැවත මුණ ගැසීමක් ප්‍රාර්ථනා කරන්න පුලුවන් නම් ඇත්තටම සාම්ප්‍රදායික ප්‍රේම සබඳතා ආකෘතියේ හිර වුණු කරණීයවාදී මිනිස්සුන්ගෙන් වෙනස් වෙලා විශිෂ්ට මානව ගුණ ධර්මයන්ගෙන් පිරුණු මනුස්සයෙක් වෙන්න ඔබට පුලුවන්. මං කියන්නේ නෑ විෂ සහිත සබඳතාවයක් අපිට උරුම කරපු මිනිස්සුන්ට නැවතත් අන්ධ භක්තියෙන් පෙම් කරන්න ඕනේ කියලා. ඒත් එහෙම අත් හැරුණු කෙනෙක් දිහා පවා පසු කාලීනව උපේක්ෂා සහගතව බලන්න පුලුවන් නම් ඔබ ඇත්තටම යහපත් මනුස්සයෙක්.

ඇත්තටම හිතලා බලන්නකෝ ටිකක්... මලකට ආස වෙලා අපි ඒ මල කඩලා අරන් අත් වල හිර කරගෙන ලස්සන බලන්න උත්සහ කරද්දී පුදුම තරමේ වෙහෙසක් දැනෙන්නේ අපිටමයි. අපි තණ්හාවෙන් අල්ලන් ඉන්න උත්සහ කරන තරමට, අනෙකාගේ ජීවිතයේ පාලනය අතට ගන්න හදන තරමට ම ඇතුළින්ම පිච්චෙන්නේ අපිවමයි. හැබැයි අපිට පුලුවන් නම් ඒ සාම්ප්‍රදායික චින්තනයෙන් මිදිලා අපේ මල් පැළය පෝෂණය කරන්න, ආදරණීයව ආරක්ෂා කරන්න, නිදහසේ වැඩෙන්න දෙන්න, වැඩෙන දිහා ඈතින් ඉඳන් බලන් සතුටු වෙන්න විශේෂයෙන්ම අගය කරන්න… අන්න එතනදීයි ඔබට ඔබව ම අහිමි කරගන්නේ නැතුව, පිච්චෙන්නේ නැතුව ආදරය කරන්න පුලුවන් වෙන්නේ. උත්සහ කරලා බලන්න. එහෙම නිදහස් කළාම සහ නිදහස් වුණාම ඔබේ ගිණි ඇවිලෙන මානසික තත්ත්වය සම්පූර්ණයෙන්ම නිවීමකට පත් වෙයි. ඕශෝ ආදරය කරන්න කියන්නේත් එහෙමයි...

තිනෙති නානායක්කාර | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.