Ads Top

Enakkul Oruvan - ‘මා තුළ ජීවත් වෙන මිනිසා’


2015 කියන්නේ, කොළඹ ටවුන් හෝල් එක ගාව තියෙන ජේ. ආර් ජයවර්ධන සෙන්ටර් එකේ මාධ්‍ය දෙපාර්තමේන්තුවක මට ජොබ් එකක් සෙට් වුණු අවුරුද්ද. මගේ පළවෙනි පොත, ‘හිකෝ’ ලියැවෙන්නේ ඔය අතරතුර. චිත්‍රපටි ගමනට අඩි තියන්නට දෛවය මාව අරන් ගිය තැන. චිත්‍රපටි ගැන පිස්සුවෙන් කතා කරන්න කට්ටිය සෙට් වුණු තැන. ඒ නිසා එතැනින් යනකොට අදටත් මාව මොකද්දෝ හේතුවකට ඉමොෂල් වෙනවා තප්පර කීපයකට. ඒ, ජේ. ආර් නිසා නොවන බව සක්සුදක් සේ විශ්වාසයි මට. ඩිපාර්ට්මන්ට් එකේ ග්‍රැෆික් ඩිසයිනින් වැඩ වලට හිටපු ‘ශෂික’ අයියටත් මට වගේම චිත්‍රපටි උණ. ඔෆිස් වයිෆයි එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරපු නිර්භීතම සේවයකයෝ දෙන්නා කිව්වොත් තමයි හරිම. අන්න එතැනින් ශෂිකයා ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එකක් තමයි, ඒ අවුරුද්දේම රිලීස් වුණු ‘එනක්කුල් ඔරුවන්’ (Enakkul Oruvan), ‘මා ඇතුළෙන් ජීවත් වෙන මිනිසා’ එකේ තේරුම.

‘ඉම්නෝසියා’ එහෙම නැත්තම් බරපතල විදියට නින්ද නොයෑමේ ආබාධයක් තියෙන පුද්ගලයෙක් ඉන් ගැළවෙන්නට ‘ලූසියා’ ලෙස චිත්‍රපටියේ නම් කෙරුණු ඩ්‍රග් එකක් භාවිතා කිරීම නිසා ඇත්ත ජීවිතය සහ සිහින අතර වෙන නොස්ටැල්ජියාවට මුහුණ දෙන ආකාරය සයිකොලොජිකල් ත්‍රිලර් එකක් විදියට ‘ප්‍රසාද් රාමර්’ (Prasad Ramar) අතින් අධ්‍යක්ෂණය වෙලා එළියට එනවා. හැබැයි එනක්කුල් ඔරුවන් කියන්නේ, කන්නඩා (Kannada) ෆිල්ම් එකක් වුණු ‘ලූසියා’ (Lucia) චිත්‍රපටියේ රීමේක් එකක්. ‘ලූසියා’ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වුණු ‘පවර් කුමාර්’ (Pawar Kumar)  ම තමයි ‘එනක්කුල් ඔරුවන්’ චිත්‍රපටියේ තිර පිටපත ලියන්නේ. මෙහි සංගීතය අධ්‍යක්ෂකවරයා වෙන්නේ, ‘සන්තෝෂ් නාරායන්’ (Santhosh Narayan) ‘කාබාලි’ , ‘කාලා’ වගේ දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ‘රාජිනි කාන්ත්’ රඟපාපු ෆිල්ම්ස් වල හිට් සිංදු එළියට දැම්මෙත් සන්තෝෂ් නාරායන්. ආදරය වගේම ‘සංගීතය’ කියන්නෙත් යුනිවර්සල් ලැන්වේජ් එකක්, විශ්ව භාෂාවක්. එනක්කුල් ඔරුවන් චිත්‍රපටිය බලලා නැත්තම් ට්‍රේලර් එකට කලින් Yaar සහ Poo Avizhum Pozhudhil කියන මේ සිංදු දෙක යූටියුබ් එකේ නිකමට අහලා බලන්න දැනෙන ෆීලින් එක කෝමද කියලා.

ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ ‘සිද්ධාර්ත් සූර්යනාරයන්’, දමිළ සිනමාවට මම ආදරණීය ප්‍රේක්ෂකයෙක් වෙන්නේ ‘සූර්යා’ ගෙන්. ‘සිද්ධාර්ත්’ කියන්නේ මගේ දෙවැනි ටැමිල් ක්‍රෂ් එක. 2003 දී උන්මාදයක් වුණු ‘බෝයිස්’ (Boys) ඩෙබියු රංගනයෙන් ඉන්ඩස්ට්‍රී  එකට ආපු ‘මුන්නා’. ඉන්ස්ටග්‍රෑම් එකේ කොයි ලැන්වේජ් එකේ ෆිල්ම් එකක් ඊළඟට ලිව්වොත් හොඳයිද ඇහුවම ගොඩක් දෙනෙක් කිව්වේ, දෙමළ චිත්‍රපටියක් කියලා. ඒ නිසා මෑතකදී බලපු ‘ෂේන් නිගම්’ ගෙ ‘ඉෂ්ක්’ ෆිල්ම් එකත් පන්නලා අවුරුදු පහක් ආපස්සට ගියේ, ‘සිද්ධාර්ත්’ ගෙ එනක්කුල් ඔරුවන්, ද බෙස්ට් ඔෆ් බෙස්ට් රංගනයක් කෞශල්‍යයක් නිසා. ලියනාඩෝ ඩිකෑප්ප්‍රියෝ රඟපෑ Inception ෆිල්ම් එකේ වගේ ‘හීනයක්-යතාර්ථයක්’ අතර ගෙවෙන කතාවක්, වෙලාවකට ‘විකී’, දොරයි ටෝකීස් චිත්‍රපටශාලාවේ ටෝච් අල්ලන කොල්ලෙක්, වෙලාවකට සුප්‍රසිද්ධ නළුවෙක්. ඒකෙන් ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා අවසානය වෙනකම් කුතුහලේ පුරවාගෙන ඉන්න වෙන කතාවක්.

ටෝච් අල්ලන කොල්ලාගේ සිට ප්‍රසිද්ධ නළුවෙක් වෙනතාක් තියෙන්න ඕනෑ පර්සනලිටි එකේ අඩු වැඩිය, කතා විලාශය, හැසිරීම, ආදරය වෙනුවෙන් කරන දෙවිදියක සටන, ‘සිද්ධාර්ත්’ අපූරුවට පෙන්වා දෙනවා. ෆිල්ම් එකේ මම පුද්ගලිකව කැමතිම කොටස, ටෝච් අල්ලන කොල්ලගේ කැරැක්ටර් එකේදී, ඔහුට යන්න සිද්ද වෙන සුඛෝපභෝගී imax චිත්‍රපටිශාලාවේ ඉන්ටවීව් එකක ඩිලිවර් කරන ඉංග්‍රීසි ඩයලොග්ස් ටික. හිතන්නකෝ අපි කඩ්ඩ හදාගත්තාම, ඒකට ඇක්සන්ට් එකක් දාලා කතා කරන්න ලේසියි මොකද අපි ජිවත් වෙන්නේ අප්ග්‍රේඩ් කරන අප්ඩේට් කරන යුගයක. හොඳම ඇක්සන්ට් එකක් තියෙන කෙනෙකුට ආයේ ගොඩේ ගතියට, හිතාමතා ඉංග්‍රීසි පටලවාගෙන මුල් වතාවට වගේ කතා කරන්න අපහසුයි. ‘සිද්ධාර්ත්’ ගෙ ඇක්ටින් ‘වාව්’ කියන තැනට ගෙන්න ඔහුගේ චිත්‍රපටි ඉතිහාසයේම ඒ සීන් එක ප්‍රමාණවත් කියලා මට පුද්ගලිකව හිතෙනවා. (ඒ සීන් එකයි ට්‍රේලර් එකයි මෙතැනින් බලන්න) අනික මේ ෆිල්ම් එකේ ඉන්න හැම චරිතයක්ම හීනයත් යතාර්ථයත් කියන කොටස් දෙකේම දායක වෙනවා.

මිනිස්සුන්ට හීන තියෙනවා, අපි ඒ හීන වල ජීවත් වෙනවා. දුප්පත් තැනෙ ඉඳන් සාර්ථක වුණු හැම මිනිහෙක්ගේම, හැම සෙලිබ්‍රිටි කෙනෙක්ගෙම ජීවිත අපි කියවනවා, බලනවා, ඉන්ස්පයර් වෙනවා, එතැනට යන්න. ඒත් ඒකම සෙලිබ්‍රිටි කෙනෙකුට කොහොම හිතෙනවා ඇතිද ? කොච්චර සල්ලි, දේපළ තිබ්බත්, ‘සරල සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න ඕනෑ කියන එක’ සෙනඟක් අතර අදෘශ්‍යමාන කෙනෙක් වෙන්න ඕනෑ කියලා හීන දකින මිනිස්සු කොච්චර ඉන්නවා ඇතිද? අපිට මිස් වුණු ඒ මිනිස්සුන්ගේ කතාව ‘එනක්කුල් ඔරුවන්’ චිත්‍රපටියෙන් අගේට පෙන්නලා තියෙනවා.

Your Small Life is Someone else's Big Dream !! 
ඔයාගේ පුංචි ජීවිතය තව කෙනෙක්ගේ මහා විශාල හීනයක් වෙන්න පුළුවන් ! 
අනූ පෙරේරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.