Ads Top

තණමල්විල කොල්ලෙක් - පළවෙනි එපිසෝඩ් එක !


තරුණ පරම්පරාවෙන් බහුතරයක්ම, ආත්ම ගණන් දිග ඇදෙන ඉන්දියන් ටෙලි කතා විරෝධියෝ. ඒවාට ආදේශක විදියට දෙවැනි ඉනිම, සංගීතේ වගේ ඒවා ආවත් එතැනිනුත් ෆ්‍රේම් කඩාගෙන රියැලිටියේ, මේ මහපොළවේ තියෙන රියල් ජිවිත කතා වලට කැමති කොටස වැඩියි. ඒ නිසයි කූඹියෝ, සහෝදරයා, සඳගල තැන්න, හාරකෝටිය වගේ නිර්මාණ ජනතා සම්මානයෙන් හැමදාම පිදුම් ලබන්නේ. ඒ වගේ නිර්මාණ අඩුයි. ඒ නිසා තරුණ පරම්පරාව ටීවී එකට දුරයි, යුටියුබ් එකට හිතයි. 

අන්න ඒ වගේ අහම්බයක, මට රෙකමන්ඩ් වෙනවා ‘තණමල්විල කොල්ලෙක්’ (Thanamalwila Kollek) හඳුන්වාදීමේ වැඩසටහන, එකේ ඉන්නේ ‘යශෝධා විමලධර්ම’ මං ක්ෂේත්‍රයේ ආසම කටහඬ තියෙන රංගන ශිල්පිණිය. ඔව්, ඒ බොර කටහඬට මං මාරම ආසයි. ‘තණමල්විල’ කිව්වම හැමෝටම තියෙන අදහස තමා මටත් තියෙන්නේ. ඒ නම නිසාත්, යශෝධාගේ ප්‍රවිෂ්ඨය නිසාත් මට හිතුණා කිසිම අයිඩියාවක්, කිසිම හින්ට් එකක් නැතුවම මේක බලන්න ගන්න. මේක ලියන මොහොත වෙනකොට එපිසෝඩ් 27ක් ITN එයාර් ටයිම් එකේ විකාශණය වෙලාත්, යුටියුබ් එකට අප්ලෝඩ් වෙලත් ඉවරයි. එනිසා මේ තියෙන්නේ පළවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ දැනුණ, හිතුණ සිතුවිලි ගොන්න. පළවෙනි එකෙන් දෙවැනි එපිසෝඩ් එකට යන අත මං නවත්තගත්තේ පුදුම හිතේ අමාරුවකින්. 

(ඕපනින් ක්‍රෙඩිට්ස්  වල ඉන්නේ අපි දන්න පහේ රංගන ශිල්පී, ශිල්පිණියන් සෙට් එකක්. ‘දනුක ඩිල්ශාන්’, ‘යශෝධා විමලධර්ම’, ‘හේමසිරි ලියනගේ’, ‘සුලෝචනා වීරසිංහ’, ‘ප්‍රියන්ත සිරිකුමාර’, ‘දසුන් පතිරණ’, ‘අංජන ප්‍රේමරත්න’, ‘සූර්යා දයාරුවන්’.... පිළිවෙලින්) 

2020 අවුරුද්දේ ජීවත් වෙන අපිව ආරම්භයේදීම අවුරුදු 14ක් ආපස්සට ඇදගෙන යනවා. ඒ 2006 අවුරුද්දේදී ප්‍රංශයට. ආදරයේ නගරය වුණු ‘පැරීසියට’. කතාවේ වර්තමානයට. පුද්ගලිකව මං ආස ෆොර්මැට් එකට, අගින් පටන් ගෙන ෆ්ලෑෂ් බෑක් කරන විදියට. මුල් එප්සොඩ් එක පුරාවටම ‘දනුක ඩිල්ශාන්’ හැරෙන්නට උඩ සඳහන් කළ කිසිම චරිතයක් දකින්නට නෑ. 

පැරිසියේ ඉන්න, තණමල්විල කොල්ලෙක්. Architectures, Sculptures, අයිෆල් කුලුන, ප්‍රංශ කොඩිය, චිත්‍ර කළාව, බුද්ධ ප්‍රතිමාව, ගමේ මතක, මූලාරම්භයේ එලිමෙන්ට්ස් වෙනවා. වචනයකින් කිසිම තැනක නොකියැවෙන ‘දනුකගේ’ චරිතයේ නම ‘දීප්ත කරුණාරත්න’ බව සඳහන් වෙන්නේ 2004 දී ඔහු දිනූ චිත්‍ර කළා ජයග්‍රහණයක සටහන් වීමකින් විතරමයි. 

ඒවගේම එපිසෝඩ් එකේ පළවෙනි සංවාදය පටන් ගැනෙන්නේ ප්‍රංශ ජාතිකයෙකුගේ ඩයලොග් එකකින්. ඒ කියන්නේ මුල් විනාඩි 8 ක් පුරාවටම කිසිම දෙබසක් නැතිව සංකේත කිහිපයකින් සැපට වාඩි වෙලා බලන්න අවශ්‍ය ප්‍රේක්ෂක බැක්ග්‍රවුන්ඩ් එක සකස් කරලා දෙනවා. කතාව ගලාගෙන යනවා, රූපරාමුව චිත්‍ර ශිල්පියා කියන තැනින් DHL කුරියර් ඩිලිවරි සේවකයෙක් කියන තැනට ගේනවා. සමහරවිට සල්ලිබාගේ අතේ තියෙන්න කළාව විතරක්ම මදී කියන හැංගුන අදහස මෙතැන ගේනවා වෙන්නත් පුළුවන්. 

කවුරු හරි මගෙන් ඇහුවොත් ඉංග්‍රීසි ටීවී සීරිස් බලන්න කැමති ඇයි කියලා, එකහෙළාම මගේ අදහස, එපිසෝඩ් එකක් ඊළඟ එපිසෝඩ් එකට ගෙනියන්න අවශ්‍ය කුතුහලේ බලන මනුස්සයා තුළ මේන්ටෙයින් කරන්න තියෙන හැකියාව කියන එක. කුතුහලය කියන්නේ අපිව ඇඩික්ට් කරගන්න ලේසිම දෙයක්. ඒක නිර්මාණ වලට ඇප්ලයි කළාම ඒ නිර්මාණ සාර්ථක වෙනවා. තණමල්විල කොල්ලගේ ඉපදීමත් එහෙම්මමයි. කුතුහලේ අවුස්සන ඇඩික්ෂන් එකක්. පළවෙනි එපිසෝඩ් එකේ ක්ලයිමැක්ස් එක හැදෙන්නේ, දීප්තට ආපු පටිගත වුණු දුරකථන ඇමතුමකින්. ඒ ඔහුගේ ‘තාත්තගේ මරණය සිදුවීම’ ගැන ඔහුගේ අක්කා තියපු පණිවිඩයකින්.

මේ මොඩල් එකේ නියමුවා ඒ කියන්නේ අධ්‍යෂකවරයා කවුද කියන එක ඕපනින් ක්‍රෙඩිට්ස් වලදී මං උවමනාවෙන් බැලුවේ නෑ. ඒ නිසාම, කතාව ඉවර වුණු ගමනෙ ආයෙම මුලට ගිහින් බැලුවා කවුද මේ වැඩ කෑල්ලේ නියම උරුමක්කාරයෝ කියලා. ‘සුසිත විජේමුණි’ තිර රචනයෙන්ද, ‘ෆාහිම් මවුජූද්’ නිෂ්පාදනයෙන් ද, ‘තිසර තුලවන්’ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ‘ලක්රුවන් ද සේරම්’ සංස්කරණයෙන් ද, ‘රොෂාන් රවින්ද්‍ර’ අධ්‍යක්ෂණයෙන් ද. 

‘රොෂාන් රවින්ද්‍ර’ අධ්‍යක්ෂණයෙන් ද, අන්න එතැන මගේ හිත දෙගිඩියාවෙන් බේරාගන්න වුවමනාම තැන මං ගූගල් කරලා බැලුවේ,   ඇත්තටම මේ දස්කොන්ගෙ ඉඳන් සහෝදරයා වෙනකල් ම මම අසාකළ නළුවා, ‘රොෂාන් රවින්ද්‍ර’ මද කියන එක. ඔව්, ‘තණමල්විල කොල්ලෙක්’ ඔහුගේ කුළුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. ‘රොෂාන් රවීන්ද්‍ර රාජපක්ෂ’ 2004 දී ‘ආදරණීය වස්සානයේ’ හොඳම නැගී එන නළු සම්මානයෙන් ලංකාව හඳුනා ගත්ත චරිතය. ඕනෑම චරිතයකට පහසුවෙන් අනුගත වෙන්න පුළුවන්, ඉහළ තාත්වික රංගක හැකියාවක් තියෙන වර්සටයිල් ඇක්ටර් කෙනෙක් කිව්වොත් හරියටම හරි. 

මේ අකුරු ටික පළමු එපිසෝඩ් එක ගැන මට පුද්ගලිකව දැනුණු දේවල් ටික. දැන් හිත නිදහසේ ඊළඟ එපිසෝඩ් 27 ම එක හුස්මට බලන්න ගන්න ඕනෑ. ඒ ගැනත් දෙයක් ලියන්න ඕනෑ. ඔයත් බලන්න. එදාට අනික කියවන්න එන්න. 

රොෂාන් රවින්ද්‍ර, ඔබේ නිර්මාණය අපි බාරගත්තෙමු ! 

අනූ පෙරේරා | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.