Ads Top

රාශි අතර රස්තියාදු ගහන හිරු දෙවිඳුන් !

ලෝකයාම හැම අවුරුද්දෙම ස්ටාර්ට් එකට ‘හැපී නිව් ඉයර්’ කියනකොට, සිරි ලංකාවේ සිහළුන් සහ දෙමළුන් එකට එක්ව අවුරුද්දට වතාවන් දෙකක් ‘කිරියෙන් පැණියෙන් උතුරන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක්’ එකිනෙකාට ප්‍රාර්ථනා කරගන්නවා. මුළු දේශවාසීන්ටම මුළු ලෝකවාසීන්ටම ප්‍රාර්ථනා කරනවා. ඒ අපි ලෝකේ සම්මත දින දර්ශකය වුණු ‘ග්‍රෙගෝරියන් දින දර්ශකය’ (Gregorian Calendar) වාගේම ‘සූර්ය දින දර්ශකය’ (Solar Calendar) ටත් එක සමානව ගරු බුහුමන් දක්වන නිසා. අපි ජෝතීර්වේදය, රාශි, ඒරාෂ්ඨක, ඉර, හඳ, තරු විශ්වාස කරන ගස්, ගල්, ගින්දර අදහන ජාතියක්. හරි මයින්ඩ් සෙට් එකකින් ඒ ඇදහිල්ල කරනවා නම් ඒක නූගත් මානවයාගේ ගතිය වෙන්නෙත් නෑ. 

‘සූර්යයා’ කියන්නේ විශ්වයේ ශක්ති ආකරය. ලෝකයේ පැවැත්ම රඳා පවතින මූලිකම ප්‍රභවය. ඉරට මිනිස්සු වැන්දේ ඒකයි. තමන්ගේ ආදරය භක්තියකට පෙරලාගෙන, තව තවත් පොලෝබිම සශ්‍රික වනවා දකින සුන්දර බලාපොරොත්තුව හිතේ හිතාගෙන. ‘සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ’ විදියට සිංදුවක් දෙකක් හැදෙන්නෙත් අපි ඒ දේවල් ‘සදාතනික වස්තූන්’ විදියට හිතන නිසාම වෙන්නැති. ඉපදෙනකොටම අපිට රාශියක් එහෙම නැත්තම් ලග්නයක් හිමි වෙනවා, සිංහල පවුලක දෙමළ පවුලක නම් අනිවාරෙන්ම ඒක වාසගම වගේම ලැබෙනවා. ඒ කියන්නේ බිලිඳෙක් ඉපදෙන අවස්ථාවක, සූර්යා ඒ මොහොතේ පසු කරමින් සිටින ‘සෝඩිඇක් සයින්’ (Zodiac Sign) එක ඔහුට හෝ ඇයට උරුම ලග්නය වෙනවා. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුඹ, මීන කියන්නේ ආන්න ඒ ලග්න දොළහා. 

මේෂ රාශියෙන් පටන් ගෙන මීන රාශිය වෙනකම් සූර්යාගේ ගමන් කෙරුවාවට අපි ‘සූර්ය වර්ෂයක්’ කියනවා. ඊළඟ අවුරුද්ද උදා වෙන්නේ ආයෙම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එළැඹීමක් විදියටයි. ඒ එළැඹීම හැමවිටම සිද්ධ වෙන්නේ ‘අප්‍රේල්’ මාසයේ. අන්න ඒ නිසයි අපි ජනවාරිය වගේම අපේ ක්‍රමයට අප්‍රේල් වලත් අලුත් අවුරුද්ද සමරන්නේ. අපි කටවහරට කියන්නේත් ‘ඉර මීනෙන් අපේ කෑම මේසෙට එනවා’ කියලනේ.  

ඔන්න ඔතනදී ‘නොනගත කාලයක්’ එහෙම නැත්තම් ‘පුණ්‍ය කාලයක්’ උදා වෙනවා. ඒ කියන්නේ අර මීන රාශිය ගෙවෙමින් මේෂ රාශියට එළැඹෙන්නට කලින් සූර්යා සිදු කරන ඒ ට්‍රැවලින් පීරියඩ් එක. හරියටම අඩු වැඩි නැතුව පැය 12 කුත් විනාඩි 48 කුත් ඒ ගමනට එයා ගන්න වෙලාව. ‘අගත’ කියන වචනයේ සන්ධි වීමක් විදියට එළැඹෙන ඒ වේලාව එච්චර සුබ වෙලාවක් විදියට ජෝතිෂ්‍යය දකින්නේ නෑ. ඒ නිසයි නොනගත නැකතේදී ‘පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම මැනවි’ කියලා ලිතේම කියලා තියෙන්නේ. 

හැබැයි ඔය අතර කාලයේදී අලුත් අවුරුදු උදාව එහෙමත් උදා වෙන්නට පුළුවන්. හරියට මේ අවුරුද්දේදී (2020) වාගේ. මොකෝ සූර්යා හයිවේ එකක එනවා නෙවෙයිනේ. කොරෝනාවෙන් ලෝකයම බැට වේලාවක, ගෙදරක කිරි මුට්ටියක් උතුරවන්නට, නිවැසේ වස් දොස් යවන්නට, ඒ අනුබාවයෙන්, රටටම, ලොවටම නිරෝගී සුව පතන්නට තරම් අපේ මිනිස්සු හරි පොසිටිව් මයින්ඩ් එකක් තියෙන ශක්තිමත් උදවිය. ඔව්, වෙනදා ප්‍රීති ඝෝෂාව රතිඤ්ඤා සද්දය දස දෙසින් මෙදා අවුරුද්දේ අපිට ඇහුණේ නැත්තේ අපේ මිනිසුන්ගේ තියෙන ඒ සංවේදිකමටම වෙන්නැති. 

ලැබුවා වූ සුබ අලුත් අවුරුද්ද ඔබත් පවුලේ සියළු දෙනාත් රටත් ලෝකයත් සුවපත්' ම' වේවා !

අනූ පෙරේරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.