Ads Top

අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #හය


අනුවගෙයි මකරිගෙයි පෙම් පලහිලව් - #හය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කන්දේ දෙවි පිහිටයි !

නුඹගේ සදාදරණීය සෙනෙහෙබර 
පිළිතුරු ලිපිය එනතෙන් ලිප ළඟ කම්මුලේ අත ගසාගෙන 
දවස් කීයක් වේලක් කුසට නැතුව සිටියාදැයි 
දන්නේ මගේ කුසම පමණි 
බැරිම තැන ආ ආවේගයට අතේ තිබූ පීසා කෑල්ල 
සාලේ කෙලවරේ මැණික් ඔබ්බපු මගේ උසට මගේ රුවට සෑදු 
රත්රන් පිළිමෙම වැදියන් ලෙසම දමා ගැසූ මම 
කෝකටත් තෛලය ලෙස මට තිබුණු එකම දුප්පත් ගෙවී ගිය පාවහන් පැළඳ 
අර පෝසත් ගෙදරින් ණයට ඉල්ලාගත් සැන්ට් පවුඩර් ටිකක් 
මුහුණ කට නොසෝදා ගල්වා ගෙනම 
ප්‍රාඩෝ එකෙන් හනි හනිකට සිදාදිය වෙත පියමං තැනුවේ 
අද ඔය පියුමා අහු උනොතින් කලිසම ඔළුවෙන් ගලවනවා යැයි 
හිතේ අවිහිංසක තරහක්ද නග්ග ගනිමින් 
නග්ග ගනිමින් ?
අපෝ ඒක කැතය 
දකින අයෙක් වෙන විදියකට සිතාවිය 
සතර පොහොයට සිල් සමාදම් වන ඔවුන්ගේ 
මනස් පවිටු කිළුටු විය හැකිය 
ඔබ කැමති ගැළපෙන උක්ත ආඛ්‍යාත පද නිවැරදිව බෙදෙන 
දෙකෙන් බෙදෙන තුනෙන් නොබෙදෙන 
ඕනෑම සංඛයාවක් ආදේශ කරගන්න 
අවසානයේ සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දීමට කාරුණික වන්න 
අහෝ අපි කතා කර කර සිටියේ කුමද්ද 
දැන් එය මට අමතකම විය 
අහ්හ් පියුමා නොවේද එය 
බියට නොවෙයි කෝකටත් 
ගෙදර සුරතලේට ඇති කළ සිංහ පෝතකයාවද මම රැගෙන ගියාය 
නැත නැත එය ගියෙමි විය යුතුය 
මම නම් මී, අපි නම් මූ, ටොකු ඇන ඇන ඔබ කියාදුන්නා මතකය 
අර අපි ප්‍රථම වතාවට බීඩී බිවු වැව් බන්ට් ඒක මතකද 
අන්න එතන රෙදි කුසුමා එක්ක බජනේ දමාගෙන මූව මට මාට්ටුය 
ලියුම් බෙදන්නට රජයේ දුන් අලුත්ම BMW මොඩලයේ වාහනය 
ඇයට පෙන්නමින් හරියට ඌ ගත්තු එකක් ලෙස පම්පෝරිය ය 
දුප්පත් වුවත් අපිට සෙකන්ඩ් වීමට නොහැකිය 
ආර්ථික අපහසුතා මැද දින ගණනක් නිරාහාරව සිටි 
මාගේ සුරතල් සිංහයා, සිම්බා වරක් දෙවරක් ගොරවා ගොර අදින්නට විය 
එයත් හොඳට ගියා ය 
නැත්තම් හොර්න් එක වැඩ නැති බව එතනම කාගන්නවාය 
සිම්බා කම්මැලියා ලෙස නුඹ කීවත් 
අවැසි වෙලාවට ඌ වැඩකරුය 
දැන් ඌ පර්චස් පහළවේ මල් පෝච්චි වල මා වැවූ 
ගංජා පැළ සොරා ගැනීමට එන සොරුන්ට 
නැට්ට වනන්නේ නැත, 
ඌ දැන් නොදැක්කා සේ නිදාගන්නේය 
නෑ ඒක වඩා නම්බුය 
නැත්තම් ඒ හොරු ගම වටේම 
මුගේ නොන්ජල් කම කිය කියා ඇවිදිනවා ඔබ දන්නවාද 
මැණික ඒ දියවන්නේ මගේ සායම ය 
කෙසේ නමුත් මම අර නුඹ පුරුදු කළ ලෙසම 
" අඩෝහ්හ් " ලෙස ගාම්භීර හඬින් අසන විට 
පියුමා සැලෙන්ඩර් වනු මම දුටිමි 
ඉතිං බබාහ් වෙලා තියෙන්නේ මේක ය 
නුඹ ආයෙමත් සුවඳ පෑන් වලින් ලියුම් ලියන්නට එපා ය 
උන්දෑ තාමත් ලියුම මට දුන්නේ නැත 
සුවඳ ඉවර උනාම දෙන පොරොන්දුවට 
ඌ මාගේ ග්‍රහණයෙන් ගිලිහී ගියේය 
ලෙසම ලියුම් කවරය ඇතුළට පවුඩර් දමන්නටද එපා ය 
ඒවා හරි ඕල්ඩ් ෆැෂන් ය 
අළුත්ම ට්‍රෙන්ඩ් එක පන්දහසේ නෝට්ටු දෙකක් මැද්දට 
ලියුම් කවරය නොපෙනෙන ලෙස දමා එවීමය 
අපි පොෂ් වෙමු ඒයි !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.