Ads Top

එක වතාවක් නෙවෙයි තව වතාවක් හිතන්න



එක දවසක් කෙනෙක් මට ලබාදුන්න උපදෙසක් මගෙ හදවතේ ගැඹුරින්ම සටහන් වුනා. ඒ උපදෙස වුනේ "හදවතින් නෙවේ මොලෙන් හිතන්න" කියන වචන ටික. ඒ ගැන මට ඒ වෙලාවේදි එච්චර හැඟීමක් තිබුණේ නෑ. ඒත් පස්සේ කාලෙක මට තේරුණා ඒ කියපු කතාව ඇත්ත කියලා. ඔයාට මට අපි හැමෝටම තියෙනවා හදවතකුයි, මොලයකුයි. ජීවිතේ කියන්නෙ තීරණ වල එකතුවක්. හොඳ හෝ නරක අපි ගන්න හැම තීරණයක්ම ජීවිතේ ඉස්සරහට හරි ආපස්සට හරි නැත්නම් එක තැන පල් වෙන්න හරි හේතු වෙනවා.


ඔයා සමහර වෙලාවලදී හදවතට ඉඩ දීලා ගත්ත සමහර තීරණ නිසා අද පසුතැවෙනවා ඇති. ඒ වෙලාවේ ඇයි මම තව ටිකක් හිතුවේ නැත්තෙ කියලා. තවත් අවස්ථා වලදී මොලයට ඉඩ දීලා ගත්ත ඇතැම් තීරණ නිසා මේ මොහොතේ දුක් වෙනවා ඇති, අනේ ඇයි මම තව ටිකක් නම්‍යශීලී නොවුනේ, සංවේදී නොවුනෙ කියලා. තීරණ ගන්න මොහොතෙදි අපි හිතන්නෙ නෑ වැඩිය. මේ තීරණෙ ගන්න ඕන හැඟීම් වලට මුල් වෙලාද, නැත්තම් බුද්ධියට තැන දීලද කියලා. මෙහෙම හිතමු ඔයා අද වැඩිය නොහිතා ආදරේ කරන්න තෝර ගන්න කෙනා ගැන හිතන්නෙ මෙයා තමා මට ගැලපෙනම කෙනා කියලා. ඉක්මන් තීරණයක් අරන් තව අවුරුදු දෙක තුනකින් ඔයාට හිතෙනවා නම් අනේ මං කරගත්ත මෝඩකමක් කියලා ගත්ත තීරණෙ ගැන දුක්වෙනවා නම් ඔයා සාර්ථක නෑ. අපේ අය සෑහෙන වෙලාවට වරද්ද ගන්නෙත් එතන. බුද්ධියෙන් ඒ කියන්නෙ මොලයෙන් ගන්න ඕන තීරණ හදවතින් හැඟීම් වලට ඉඩ දීලා අරගෙන ජීවිතේම පසුතැවෙනවා. අනිත් පැත්තට හදවතින් ගන්න ඕන තීරණ මොලයෙන් විතරක් හිතලා අරගෙන දුක් වෙනවා. අපිට අවබෝධයක් තියෙන්න ඕන අපි අවස්ථානුකූලව ගන්න තීරණෙ ගත යුත්තේ හදවතින්ද, නැත්තම් මොලයෙන්ද කියන එක. ඔය දෙක පටලවගත්තොත් අපේ ජීවිතේ ඒ ඒ අවස්ථාත් පැටලෙනවා. හදවතට ඉඩදීල ගන්න ඕනම තීරණ සමහර වෙලාවට තවත් හේතු නිසා හදවත පැත්තක තියලා මොලෙන් ගන්න සිද්ධ වෙනවා. ජීවිතේ ඉස්සරහට යන්න නම් සමහර අවස්ථාවල අවදානම් තීරණ ගන්න වෙනවා. තීරණයක් ගන්න කොට සෑහෙන හිතන්න වෙනවා කියන්නෙ ඒකයි.


හැඟීම් සහ බුද්ධිය සමබරව සිහියෙන් තමන්ගෙ තීරණ වලට සම්බන්ධ කර ගත්තොත් ජීවිතේ අමාරු තැන් වලට අපිට මූණ දෙන්න ලේසි වෙයි. අද හැඟීම් වලට විතරක් වහල් වෙලා ගන්න තීරණ නිසා හෙට දවසෙ ඔයා පසුතැවෙනවා නම් ඒ කියන්නෙ ඔයා මොලෙන් හිතන්න පටන් අරන්. හැබැයි ඔයා මොලේට ඉඩ දෙන කොට පරක්කු වැඩියි. ඒ නිසා හැම තීරණයක්ම ගන්න කොට එක වතාවක් දෙකක් නෙවෙ සිය වතාවක් හරි හිතලා හරිම තීරණෙ ගන්න. හදවතටයි, මොලේටයි සමාන ඉඩක් දෙන්න. එතකොට ඔයාට තේරෙයි මේ තීරණෙ ගන්න ඕන මොලෙන්ද නැත්තම් හදවතින්ද කියලා. ඉතින් “යූත්වරුනි” හදවතේ ලයිට් එක විතරක් නෙවේ මොලේ ලයිට් එකත් පත්තු කරගන්න.

එහෙම කලොත් ජීවිතේ වරදින එකක් නෑ.

#KDසපූ

Siththam Maya | Anu Perera. Powered by Blogger.