Ads Top

ඇයි ඔයාට ප්‍රශ්නයක්ද ?





ආයෙමත් පුංචි කාලෙට යන්න තියෙනවනම් කියලා ඔයාට මට හිතුණු වාර නම් අනන්තයි නේද? එහෙම හිතෙන හැම වෙලාවකම අපි ඉස්සරහ තිබුනෙ ප්‍රශ්නයක්. එ් ප්‍රශ්නත් එක්ක අපිට ඇතිවෙන මානසික පීඩනේ නිසයි පුංචි කාලෙට ආයෙත් යන්න තිබුන නම්, ලොකු නොවී ඉන්න තිබුන නම් මේ ප්‍රශ්න මොනවත් නෑනෙ කියලා ඔයාට මට හිතුනේ. ප්‍රශ්න වලට මූණ දෙන්නෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. සිද්ධාර්ථ කුමාරයටත් තිබුනා ප්‍රශ්න. සතර පෙර නිමිති දැකලා එතුමට මනුස්ස ජීවිතෙ තියෙන නියත ප්‍රශ්න තුනක් හම්බවුනා. ඒ තමයි මහලු වීම, ලෙඩ වීම, මිය යාම. ඕක තමයි කොයි කාටත් අන්තිමේ අත්වෙන ඉරණම. ඒක දුකක්. ඒ දුකින් නියත වශයෙන් මිදෙන්න පුළුවන් උත්තරය එතුමා සතර පෙර නිමිති වල අන්තිම නිමිත්ත වුනු පැවිදි රුවෙන් දැක්කා. හැබැයි ඒ උත්තරේ අති සාර්ථක විසඳුමක් කරගන්න එතුමන් අසීමිත කැපවීමක්, කැපකිරීමක් අවුරුදු ගණනක් තිස්සේ කලා. වැරදීම්, පැරදීම් උන්වහන්සේටත් වුණා. අවසානේ උන්වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වෙලා මිනිස් ජීවිතේ නියත ප්‍රශ්න තුනට නියත උත්තරය හොයා ගත්තා.


හැබැයි අපි මේ දවසේ පැය 24 තිස්සෙම ඔට්ටු වෙන්නෙ ජීවිතේ ප්‍රශ්න එක්ක. මොකද අපි පෘථග්ජන මිනිස්සු නිසා. අධ්‍යාපනය, රස්සාව, ආදරය, විවාහය, පවුල් ජීවිතේ ප්‍රශ්න මේ නානා විධ ප්‍රශ්න කන්දක් අපි ඉස්සරහ තියෙනවා. ප්‍රශ්න කන්ද අපේ ගමනට බාධාවක් කරගෙන අපි එක තැන නතර වුනොත් කවදාවත් කන්ද එතනින් අයින් වෙන්නෙත් නෑ. අපිට ඉස්සරහට යන්න වෙන්නෙත් නෑ. හැබැයි ඔය ප්‍රශ්න කන්දට අතින්, කකුලෙන් පහර දීලා හරි ඉක්මනට ප්‍රශ්න කන්ද සමතලා කරලා දාන්න හරි අපිට බෑ. අපි කරන්න ඕන ඒ කන්ද මැදින් විසඳුම් කියන පාර කපාගෙන ඉස්සරහට යන එක. සමහරු ප්‍රශ්න වලට උත්තර හොයන්නෙ මත් වීමකින්, නැත්තම් මරණයෙන්. ඔය විදි දෙකම අසාර්ථක විදවන තාවකාලික විසඳුම් දෙකක් විතරයි. මට වගේ ප්‍රශ්න වෙන කාටවත් නැතුව ඇති කියලා ඔයාට හිතෙනවා ඇති. ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා. හැබැයි පොඩ්ඩක් එලියට ඇවිත් මිනිස්සු දිහා බලන්න අවධානෙන්. මහ පාරේ දුවන ජීවිත දිහා ටිකක් ඇස් ඇරලා මොලෙන් දකින්න. ඔයාට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා නේද කියලා එතකොට ඔයාට තේරෙයි.


එදා වේල කන්න හොයා ගන්න සටන් කරන ජීවිත, ලෙඩකට බෙහෙත් ටික ගන්න අතේ සල්ලි නැතිව මැරි මැරී ජීවත් වෙන ජීවිත, පොඩි එකාට ඉස්කෝලෙ දාන්න සපත්තු දෙකක් ගන්න නැතුව හූල්ලන ජීවිත, අම්මා තාත්තා අහිමි වුනු අහිංසක දරුපැටව් විඳින වේදනාව, ජීවිත අවදානම අතේ තියන් දරු පවුල වෙනුවෙන් අවදානම් රස්සා කරන ජීවිත මේ හැමෝටම තියෙන්නෙ ප්‍රශ්නයක්. සටන් කරන්නෙ ඒ ප්‍රශ්නෙත් එක්ක. විසඳුම වෙනුවෙන්. එහෙම බැලුවම ඔයාට තේරෙයි. ඇත්තට මට මොනාද තියෙන ප්‍රශ්න කියලා. ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් මනසින් වැටිලා බෑ. මේ ලෝකෙ ජය ගත්තේ දුක දිනපු මිනිස්සු, ප්‍රශ්න වලින් අසීමිතව බැට කාපු මිනිස්සු. මුළු ජීවිත කාලෙම අපි හොයන්නෙ ප්‍රශ්න වලට උත්තර. මේක පරික්ෂණයක්. අපේ අධිෂ්ඨානය මනින. ඒකට අපි මුහුණ දෙන්නම ඕන යහපත් විදියට. එහෙම නොවුනොත් ජීවිතය කියන පරික්ෂණයෙන් අපි ෆේල් වෙනවා. ඉතින් හුස්මක් අරන් ආයෙත් හිතන්න.

#KDසපූ


Siththam Maya | Anu Perera. Powered by Blogger.