Ads Top

" කන්ථක හදවත "



 | අනූ පෙරේරා 

ස්වාමිනි නුඹ කොහේ යනවද 
නැත මට වැටහෙන්නේ 
පුතේ අපි දැන් ගමන් අරඹමු 
කීව සෙනෙහස්නේ 
පැනය සිත තුල නමුත් නොඅසමි 
නුඹ නැත වැරදි වන්නේ 
ඉතින් අපි යමු ඇසල පෝ දින 
රැයේ සිසිලස්නේ 
ස්වාමිනි අපි කොහේ යනවද 
නුඹයි එය දන්නේ 
ඡන්න ස්වාමීත් නුඹත් සමඟම 
සිතේ දුක් ගින්නේ 
නුඹේ දහිරිය නුඹේ තේජස 
වැඩිවෙමින් මුහුණේ 
එකම අරමුණක නුඹ ගමන් ගයි 
මන්ද නොනවතින්නේ 
නුඹේ සියුමැලි ඇඟිලි තුඩු මට 
දැනෙයි හිස මුදුනේ 
ස්වාමිනි මට විඩා නොම වේ 
නමුත් හද සැලෙන්නේ 
නොතේරෙන්නේ කොහොම දැයි එය 
නුඹනේ මා දන්නේ 
රාහුල පොඩි පුතුන් තනියම 
කොහෙද නුඹ යන්නේ 
ස්වාමීනි අපි තවත් වේගෙන් 
ඈතටනේ යන්නේ 
ඡන්න ඔබ මම මෙසේ සීතල 
රැයක කොහි යන්නේ  
ඈත නේරංජනා දිස් වේ 
නැතිද නවතින්නේ 
කුමරුනේ නුඹ හිතත් කිව්වද 
ඇයිද කර මතින් බැස්නේ  
අනේ නෑ අපි තවත් දිව යමු 
නුඹේ සතුට මගේ වන්නේ 
මගේ ආලය මගේ සෙනෙහස 
නොමැත අඩු වන්නේ 
මගේ ප්‍රේමය අත හරිනවද නුඹ 
ලය නෑ උහුලන්නේ 
ස්වාමිනි නුඹ සුරැකි වෙන්නයි 
එයයි මා පතන්නේ 
නමුත් දෙවියනි දරනු කොහොමද 
ඔහු මගෙන් ඈත් වන්නේ 
යන්න යනවද ආයේ නොඑනවද 
සිත නෑ වාවන්නේ 
කමක් නෑ මගේ සිදුහතාණෙනි 
සත්‍ය සොයමින්නේ 
ක්ලාන්තය මට ලයත් කකියයි 
පොලවේ ඇලවෙන්නේ 
නුඹේ නික්මය දරනු බෑ මට 
මා මියෙනවානේ 
බොඳ වූ දෑසින් පෙනෙයි මට නුඹේ 
විරිය දිගු ගමනේ  
ස්වාමිනි මම කන්ථකයි ඔබේ 
සසරේ ළඟ උන්නේ 

No comments:

Siththam Maya | Anu Perera. Powered by Blogger.