පිරිමි ලංසුවක් - 10 කොටස
කාත් කවුරුත් නැති
බිම් කඩක
අයිතියක්වත්
පවරලා නැති
අහසක් යට
අම්බලන් එමටයි
හුළං සැරට
පපුව හූරගෙනම
මහා අනෝරාවට
බිත්ති තෙමාගෙන
කඳුළු හොල්ලනකොට
එළිය දුන්නෙම
කණා මැදිරියෝ
විතරමයි !
- සිතුම් විජේබණ්ඩාර
_________________________________
අගෝස්තු මාසේ මුල් සතියත් පටන් ගත්තට පස්සේ සිතුම් කලපනා කළේ එඩ්වින්ගෙ ගෙදරින් යන්න සූදානම් විය යුතු කාලය තමාට දැන් උදා වී ඇති බවයි. අසංකගෙ පැමිණීමට තව ඇත්තේ දින තුනක් පමණි.
එඩ්වින් මහත්තයගෙ ගරාජ් එකෙ වැඩ කරන සිරිනාත අයියා සිතුම් ආ දවසේ ඉඳන් ඔහුව හොඳ හැටි අඳුරන සියළු විස්තර දැන සිටි හොඳ හිතවතෙක්. සිරිනාත හිත හොඳ පුද්ගලයෙක් කියන එක සිතුම් දැනන් හිටියේ අද ඊයෙක නොවේ. එඩ්වින් මහත්තයට සිටි ගෝලයන් අතරින් විස්වාසවන්ත සේවකයෙක් හැටියට ඔහු කාගෙත් හිත් දිනා ගන්න සමත් වෙලා හිටියා.
ජිවිතේ මුණ ගැසුණු මිනිස්සුන් අතර සිරිනාත මිනිසත්කමෙන් පිරිපුන් මිනිසෙක් වුණා. ඔහු හරහා යම් උපකාරයක් ගෙන තමන්ගෙ ජීවිතය කොහේ හෝ තැනක ගොඩ නැඟිය යුතුයි කියන අරමුණ හිතේ තියන් සිතුම් බලාපොරොත්තු සහිතව එදි නෙදා වැඩ කටයුතු වල නිරත වුණා.
පහුවදා සිතුම් උදේම ගරාජ් එකේ වැඩ පටන් ගද්දි සිරිනාත සිතුම් ළඟටම ඇවිත්. ළඟට එනකන් සිතුම් ඔහුව දැක්කේ නැහැ. ඔහු ආවේ ලොකු කතාවකට මුල පුරන්න බලාගෙන වගේ.
සිරිනාත කටහඬ අවදි කළේ රතු වෙච්ච තොල් අතර හිර වෙලා තිබුණ කෙල පිඩ හයියෙන් ශබ්ද නගා බිමට විසි කරන ගමන්.
“පොඩ්ඩෝ”
“අහ් සිරිනාත අයියා උදෙන්ම ආවද?”
“හ්ම්ම්ම්ම්”
“දැන් පොඩ්ඩෝ උඹ ඔය ගන්න හදන තීරණේ ගැන විශාකා නෝනා දන්නවද”
“නෑ සිරිනාත අයියේ නෝනා දැන ගත්තොත් මට මේ ගමන යන්න වෙන්නෑ”
“ඒක නම් ඉතින් එහෙම තමයි බං, උඹට නෝනා දරුවෙක්ට වගෙ ආදරේ නිසානෙ අර උඩැක්කිය ඔච්චර උඹ එක්ක එල්ලි එල්ලි එන්නේ”
සිරිනාත නයෝමිට උඩැක්කිය කියද්දි සිතුම් යන්තම් හිනා වුණා.
“මට මේ ගෙදර මිනිස්සුන්ගේ සතුට නැති කරන්න ඕන නෑ”
“නෝනයි මහත්තයයි ගැන තමයි මට හිතේ දුකකට තියෙන්නේ සිරිනාත අයියේ”
“පොඩ්ඩෝ ඕවා ඔහොම තමයි බං උඹ ඕවා හිතන්න යන්න එපා දැන්”
“උඹට වරදින් නෑ උඹ හොඳ එකා”
“අර කටුනායක ගාමන්ට් වැඩේ පොඩ්ඩෝ අපේ ලොකු අක්කත් එක්ක මං කතා කරා, ඒකි නම් කිව්වේ ඉක්මනට ජොබ් එකට උඹව දා ගන්න පුළුවන් වෙයි කියලා. ඒකි එතන සුපවයිස නෝනා කෙනෙක්”
“ජොබ් වැඩේ නම් ගොඩ කියමුකෝ බං පොඩ්ඩෝ. දැන් නතර වෙන්න තැනක් තමයි උඹට හොයා ගන්න ඕනේ”
“ඒකත් බලමු මං අඳුරන එකෙක් ඒ පැත්තේ බෝඩියමක ඉන්නවා, ඌටවත් කතා කරලා තැනක් හොයා ගන්න බලමුකො”
“ගොඩක් පිං සිරිනාත අයියේ මේ කරන උදවු වලට”
“ඕවට පිං ඕනේ නෑ බං. උඹ ඉන්න තැනක හොඳින් ඉන්නයි අපිට ඕනේ”
සිරිනාත තම හිතට දැනුණු හිතවත්කමින් සිතුම්ගේ උරහිස උඩ අත තියලා ඒ වචන ටික කිව්වේ නිර්ව්‍යාජ සිනහවක් මූණට නගාගෙන.
දවස ගෙවිලා යද්දි හැමදාම හවසට රිදුම් දෙන ශරීරයේ වේදනාව සිතුම්ගෙ ඇස් වලින් වැටෙන කඳුළු අහුරකින් මිරිකිලා දියවෙලා ගියා. එඩ්වින් මහත්තයව අත් දෙකට අරන් ඇදෙන් උස්සසලා නාවලා පිරිසිදු කරලා බෙහෙත් ටික දෙන එකේ ඉදන් සියලු වැඩ ටික උනේ සිතුම්ගේ අත් දෙකෙන්.ඒ වැඩ ටික ඉවර වුණු ගමන් ගරාජ් එකට යන එක ඔහුගේ ඊ ලග කාර්යය වුණා. කෙතරම් අමාරු වුවත් සිතුම් මේ හැම දෙයක්ම කලේ හරි ආසාවෙන්.
අසංක එන්න නියමිතව තිබුණේ හරියටම තව එක දවසයි. සිතුම් ඔහු එන්න කලින් දවසේ රෑම නිවසින් පිටවෙන්න තීරණය කර තිබුණත් සිරිනාතට තවම ඔහුට නවාතැන් ගන්න තැනක් හොයා ගන්න පුලුවන් කමක් තිබුන් නැහැ.
සිතුම් විශ්වාසය පෙරදැරිව බලන් හිටියේ කොයි වෙලාවක හරි ඔහු සුබ ආරංචියක් තමන්ට ගෙන එනු ඇතයි බලාපොරොත්තුවෙන්.
විශාකාගේ අහිංසක මූණ දකින වාරයක් ගානේ සිතුම් සිය දහස්වර පිච්චුනා. ඇය කෙතරම් නම් කරුණාවන්ත ගැහැණියක්ද. අත්තම්මාට පසුව ජීවිතේ තමන්ට හමු වූ කරුණාවන්තම කාන්තාව. මේ ලෙන්ගතුකමත් එක්ක ගෙවීමට ඇත්තේ තව හෝරා නම් කීයද.
ජිවිතේ තමන් අලුතෙන් පෙරලන පිටුව තනිරූල්ද කොටුරූල්ද ඔය දෙකින් කෝක වුවත් තමන් ඒ දේ බාරගන්න සූදානමෙන් ඉන්න බව තම හිතට තදින්ම කා වැද්දුවා.
(ලබන සතියට)
අමා සිල්වා | සිත්තම් මායා
Comment with Facebook