Ads Top

ඔබේ හදවතේ වෛරය කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ?

එක්තරා කරුණාවන්ත හදවතක් සහිත ගුරුවරියක් හිටියා. දවසක් ඇය පාසල් ගියාම ඇගේ පන්තියේ පුංචි දරුවන්ට අලුත් ක්‍රීඩාවක් කියලා දෙන්න තීරණය කළා. ඇය පන්තියේ සිටින සෑම දරුවෙකුටම පැවසුවේ පහුවදාට පාසල් එද්දී අර්තාපල් කිහිපයක් ප්ලාස්ටික බෑග් එකකට දාලා අරන් එන්න කියලායි. ඊට පස්සේ සෑම අර්තාපල් ගෙඩියකම ඒ ඒ දරුවා විසින් වෛර කරන පුද්ගලයන්ගේ නම් ලියලා තියෙන්න ඕනේ කියලාත් කිව්වා. ඒ නිසා හැම දරුවෙක්ගේම ප්ලාස්ටික් බෑගයේ තිබෙන අර්තාපල් ගණන රඳා පවතින්නේ ඔහු හෝ ඇය වෛර කරන පුද්ගලයින් සංඛ්‍යාව මතයි.

ඉතින් පහුවදා පාසල් එද්දී සෑම දරුවෙක්ම ඔහු හෝ ඇය වෛර කරන අයගේ නම සහිත අර්තාපල් ටිකක් ගෙනාවා. සමහරුන්ගේ බෑග් වල අර්තාපල් 2 ක් ද, සමහර අයට අර්තාපල් 5 ක් ද තිබුණා. ඒවා පරීක්ෂා කරලා බැලුවාට පස්සේ ගුරුවරිය දරුවන්ට කිව්වේ සතියක් යනකල් එයාලා යන ඕනෑම තැනක අර්තාපල් බෑග් එක ඔවුන් සමඟ රැගෙන යන්න කියලයි.

ඉතින් මේක අලුත් ගේම් එකක් නිසා දරුවන් ටික ගුරුතුමිය කියන දේ සතුටින් අහලා ඒ යන යන හැම තැනම ඒ බෑග් එකත් අරන් යන්න පටන් ගත්තා. ටික ටික දින ගත වෙද්දී අර්තාපල් කුණු වෙන්න පටන් ගත්තා. අනික ඒවායින් පිටවෙන අප්‍රසන්න සුවඳ නිසා දරුවන් ඒ ගැන ගුරුතුමියට පැමිණිලි කරන්නත් පටන් ගත්තා. මීට අමතරව අර්තාපල් 5 ක් ඇති අයට බෑග් එක එහෙ මෙහෙ අරන් යද්දී අනිත් අයට වඩා බෑග් එකේ බර දනෙන්න පටන් ගත්තා. ඔන්න හත් වෙනි දවසේදී ක්‍රීඩාව අවසන් වුණු නිසා දරුවන්ට සහනයක් ලැබුණා.

දරුවන් ඔක්කොම පන්තියට රැස් වුණාට පස්සේ ගුරුවරිය එයාලාගෙන් මෙහෙම ඇහුවා. “සතියක් පුරා ඔයාලාට අර්තාපල් බෑග් එක අරන් යනකොට දැනුනේ කොහොමද?” ඒක අහද්දිම දරුවන් තමන්ගේ මුහුණු වලින් කලකිරීම් ප්‍රකාශ කළා. ඔවුන් ගිය හැම තැනක ම අර්තාපල් බෑග් එක රැගෙන යන්න වුණ එක ගැන වගේම ඒවායේ බර සහ ගඳ නිසා තමන්ට වුණු කරදර ගැනත් දරුවන් පැමිණිලි කිරීමට පටන් ගත්තා.

හැමෝගෙම අත්දැකීම් අයහපත් මට්ටමකයි තිබ්බේ. ඉතින් ඒවා හැම දෙයක්ම බොහොම සාවධානව අහන් හිටපු ඒ ගුරුතුමිය සිනහමුසු මුහුණින් ඒ ක්‍රීඩාව හරහා දරුවන්ට උගන්වන්න අවශ්‍ය වුණේ මොකක්ද කියලා මෙන්න මෙහෙම කිව්වා.

මේ අනර්ඝ පැහැදිලි කිරීම අහපු දරුවන් පුදුමයට පත් වෙලා ආයිමත් තම තමන්ගේ හිත් වලට එබිලා මේ කාරණය ගැන හිතන්න පටන් ගත්තා.

“දරුවනේ... වෛරයේ දුර්ගන්ධය ඔයාලගේ හදවත දූෂණය කරලා. ඒ වගේම ඔයාලා යන ඕනෑම තැනක ඒකත් අරගෙනත් ගියානේ. එහෙම අරන් ගිය අර්තාපල් කාලයත් එක්ක කුණු වෙන්න පටන් ගත්තාට පස්සේ ඒවායින් හමපු දුගඳ ඔයාලාට සතියක් වත් ඉවසලා ඉන්න බැරි වුණා. එහෙම නම් ඔයාලා ජීවිත කාලය පුරාම මිනිස්සුන්ට කරන වෛරයේ දුර්ගන්ධය ඔයාලගේ හදවතේ තියාගෙන ජීවත් වෙද්දී ඒ හැඟීම ම කොයි තරම් අප්‍රසන්න ද කියලා දැන් ඔයාලටම හිතා ගන්න පුලුවන් නේද?”

මේ කතාව කියෙව්වාම ඔබට මොකද හිතුණේ? අපි ජීවත් වෙන සමාජය දකින්න පුලුවන් සුලභම තත්ත්වය තමයි පෙම්වතුන් ආදරය කරන කාලයේදී එකිනෙකාට සමීප වෙලා ආදරය කරනවා වගේම වෙන්වුනාට පස්සේ ඊට වඩා දෙගුණ තෙගුණ වෙලා වෛර කරගන්න එක. නැත්නම් එකිනෙකාට අනෙක් අය සමඟ බැණ වැදීම්, අපහාස උපහාස, සමාජ මාධ්‍ය වල පවා ගෞරවය කෙලසා ගැනීම හෝ ඊට පස්සේ මරණයෙන් පවා ජීවිත කෙලවර කරගන්න මට්ටමට ඒ වෛරය දුර දිග ගිහින් තියනවා.  

ඇත්තටම එහෙම නින්දා සහගත අවසානයක් නම් අනෙකාට දෙන්නේ, එතන තිබිලා තියෙන්නේ ඇත්තටම ආදරයක් කියලා ඔබට විශ්වාස කරන්න පුලුවන්ද? ඇයි අපිට බැරි වෙන් වීමට වුණත් ගෞරවණීය අවසානයක් දෙන්න? මැරෙනකල්ම එකට ගිවිසගෙන ඉඳීමේ බලාපොරොත්තුවෙන් ආදරය කරද්දී වුණත් වෙන්වීමේ එක්තරා නිශ්චිත මොහොතක් අපි හැමෝටම එලඹෙනවා. ඒ නිසා සම්බන්ධතා ගැන ස්ථීර පුරෝකථනයන් එක්ක ජීවත් වෙන්න එපා. ඔබ අවුරුදු ගණනාවක් ආදරය කළත් ඒ සම්බන්ධතාවය බිඳිලා යන්න එක තත්ත්පරයක හේතුවක් හොඳටම ප්‍රමාණවත්. කොහොමත් සම්බන්ධතා හරිම බිඳෙනසුලුයි.

භෞතික සම්බන්ධතාවය කඩතොළු වුණාට පස්සේ ආදරයට මොකද වෙන්නේ? ඇත්තටම නිශ්චිත අවසානයකින් පස්සේ ඔබට ඉතුරු වෙන්නේ ආදරය විතරයි. අවසානය කොහොම වුණත් අනෙකා වෙනුවෙන් තව දුරටත් ඔබේ හදවතේ යම්කිසි හෝ හැඟීමක් ඉතුරු වෙනවා නම් පලි ගැනීමේ චේතනාව, වෛරී මාර්ගය ඔබට තෝරා ගන්න පුලුවන් කමක් ලැබෙන්නේ නෑ. අවසාන තැනදී එකිනෙකාට ගෞරවණීය සමු ගැනීමක් දෙන්න තරම් ශක්තිමත් සහා මානුශිකව උසස් හදවතකට විතරයි එතනින් එහාට ජීවිතය සැනසීමෙන් ගෙවන්න පුලුවන් වෙන්නේ.

ජීවිත කාලය පුරාම ඔබේ හදවතට විශාල බරක් එකතු කරපු, ඔබේ හදවතේ ඇති ඕනෑම වෛරයක් ඒ නිසා ඉවත දමන්න. උසස් මනුස්සයෙක්ගේ හොඳම ආකල්පය සමාව දීමයි. මොකද කෙනෙක් පිළිබඳව ඔබේ හිතේ පැලපදියම් වෙලා තිබෙන ඍණාත්මක බව කියන්නේ ඔබේ මනසේ සාමය ඔබෙන් ඈත් කරවන ලොකුම හතුරායි. හදවතින්ම ආදරය කළා නම් ඔහු / ඇය පිළිබඳ හොඳ දේ විතරක් මතක තබා ගන්න, වෛරය අත්හරින්න.

හිතින් අර්තාපල් බෑග් ගෙනියන වැඩේ අතහැරීමෙන් ජීවිතයට ලැබෙන සැනසිල්ල අත්විඳින්න...


තිනෙති නානායක්කාර | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.