Ads Top

අහල ගම් නමයම පාළු උනා අල්ගම හාමුදුරුවනේ ! #Journal #Page10

Siththam-Maya-58-Shameless-Journal-Page10

| 2020 ජූනි 12


කුරුණෑගල මලියදේව ආදර්ශෙට ගියපු පරණ කොල්ලෙක් කෙල්ලෙක්, අල්ගම සීලරතන හාමුදුරුවෝ දන්නේ නැත්තම්, හාමුදුරුවන්ගෙන් හොඳ පදෙන් බැනුමක් දෙකක් අහලා නැත්තම්, දාර පොලු වලින් ගුටි කාලා නැත්තම්, ස්ටේජ් එකේ දණ ගැස්සිලා නැත්තම්, හැම උදේම ගේට් එක ගාව දණ නවලා වැඳලා ඉස්කෝලේ ඇතුළට ගියේ නැත්තම්, ඒ වැඳුම් අතරේම ප්‍රිෆෙක්ට්ස්ලාගෙන් බේරුණත් හැම අඩුවක්ම දශමෙට මීටර් වෙලා ඒවාට දඬුවම් විඳලා නැත්තම්, කට් කපාගෙන එන උන්ගේ තැනින් තැනින් තට්ටේ පෑදෙන්න පොඩි කතුරකින් කොන්ඩේ භූ ගාගෙන නැත්තම්, ප්‍රසිද්ධියේ චාටර් කාලා නැත්තම්, ඒ අතින් කන මිරිකිලා නැත්තම් , අම්මපා ඒ ළමයි හැඳි නොගා හදපු හොද්දමයි.


පොඩි කාලේ දී ළමයින්ගේ පදේට නටන්නැති ඕනෑම ගුරුවරයෙක් වැටෙන කැටගරියේ, හාමුදුරුවන්ගේ නමත් අපි උඩින්ම ලියාගෙන හිටියේ. ඉස්කෝලේ කාලේදී හැම ළමයෙකුටම අල්ගම හාමුදුරුවෝ එක්ක තිවුණේ හොඳ හිත බැඳීමක් නම් නෙවේ. ලොකුවෙලා ඇරියස් කවර් කරන්නම් කියලා හිතාගෙන ඉන්නකොට, අපිටම තේරුම් යනවා, එහෙම හැදුවේ නැත්තම් ඇත්තටම ‘ආදර්ශේ’ වහලා එතැන පොඩි හිරගෙයක්, පොලීසියටයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවටයි එකතු වෙලා ඕපන් කරගන්න වෙනවා කියලා. එතරමට එකේ උන් ‘ආදර්ශ’ මත්. ප්‍රින්සිපල් කෙනෙකුට ආන්බාන් කරන්න බැරි හැම හරකම මෙල්ල වුණේ ඒ තැඹිලි පාට සිවුරට. වලියක් යන වෙලාවක, පීරියඩ් එකක් කට් කරපු වෙලාවක ප්‍රින්සිපල් පවා ඒ ලෙවල් අයියා කෙනෙක් වගේ දැක්කට, තැඹිලි පාට ‘ඩේන්ජර් කලර්’ එක විදියට අපේ ඇඟේ හැම සෛලෙකටම ගිහින් තිවුණ නිසා වැරදි කරන්න අපිට සීයට සීයක අවස්ථාවක් තිබ්බෙම නැති තරම්. ඔව් ඔක්කොටම මුල, අල්ගම හාමුදුරුවනේ ඔබ. අද අපි මහා පොළවේ කොන්ද කෙලින් තියාන පය ගහලා ඉන්න තැනට වෙනකල්ම, ඔක්කොටම මුල ඔබ.  


ඔය කොච්චර සැර පාර්ට් එක දැම්මත්, ආදර්ශේ හැම කොල්ලෙක්ම, හැම කෙල්ලෙක්ම, හැම ගුරුවරයෙක්, ගුරුවරියක්ම අල්ගම හාමුදුරුවන්ට පණ ඇරලා ආදරෙයි. පන්සලේ ඕනෑ උත්සවයක් තිබ්බොත් ඉස්කෝලේ ඊස්ටර්න් බෑන්ඩ් එකේ ඉඳන් හැමෝම සපෝර්ට් එකට එනවා. ඉස්කෝලේ ඉන්න කල් හාමුදුරුවෝ එක්ක තියෙන බය රිලේෂන්ශිප් එක නෙවෙයි ඇත්තටම ඉස්කෝලෙන් අවුට් වුණාම ඒ හැම ළමයෙකුටම හාමුදුරුවෝ එක්කලා තියෙන්නේ. එක පොඩි පණිවිඩයක් ඇති අක්කර ගාණක පන්සලේ අස්සක් මුල්ලක් හිරවෙන්න මිනිස්සු පුරවන්න. ඒ තරමට හාමුදුරුවන්ගේ ගෝලයෝ උන්වහන්සේට ආදරෙයි, උන්වහන්සේට හීලැයි. දරුණු රෝගෙකින් පීඩා විඳිපු අපේ අල්ගම හාමුදුරුවෝ අද ජීවිත සටන අත හැරලා, ජීවිතය ඉදිරියේ දණ නවලා. ගමේ පන්සලේ ප්‍රධාන දායිකාව වුණු මගේ මවගේ මොර සූරන කඳුළු වැස්ස මං හෙමිහිට මගේ උරහිසට වත්තම් කරගත්තා. ඒ විනාඩි දෙකක් ඇතුළේ මේ කියපු හැම සිද්ධියක්ම, දෙන්නාගේම දුක්ඛ දෝමනස්සය ඇතුළේ මට වේගෙන් විස්තර වේගනත් ගියා. හරි සැරට, හරි උස මහතට, හරි ගාම්භීරකමට හිටි අල්ගම හාමුදුරුවගෙ හුස්ම ටික හොරු අරන්. කොයි කොණකින් හරි හාමුදුරුවන්ගේ ගෝලයෙක් නම් ‘කොළඹලාමුල්ල පන්සලට’ ගොඩ වැදිලා යන්න එන්න. අපේ හාමුදුරුවන්ගේ ආත්මයට ඒක ලොකු සැනසීමක් වේවි !


“ස්වාමීන් වහන්ස, අපි ඔබට ස්තූතිවන්ත වෙමු, අපි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු”


අනූ පෙරේරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.