Ads Top

Irrfan Khan, රසිකයෙක් නොවෙමි !


ලියන්න හිතාගෙන හිටියේ බොලිවුඩ් ෆිල්ම් එකක් ගැන. ‘මෙරී ප්‍යාරී බිංදු’ ගැන. යාළුවෙක් කෝල් කරලා, ‘ඉම්රාන් ඛාන් නැති වෙලා ඕයි’ කිව්වම, හිත සෑහෙන්න එහෙ මෙහෙ උනා. මං ආයෙම ඇහුවා ‘ඉම්රාන් ඛාන්? අයි හේට් ලව් ස්ටෝරි එකේ ඉම්රාන් ඛාන්?’. එක හෙලාම ඇය කිව්වේ, ‘ඔව් මනුස්සයෝ, ඉම්රාන් ඛාන්’. හැම ආරංචියක්ම ලේට් වදිනකොට ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ අඩුව මට තදින්ම දැනෙන්න ගත්තා. ඉතිං මං ගූගල් කළා, පාකිස්තාන අගමැතිවරයාව ගූගල් එකෙන් මට සජෙස්ට් කරනවා, අගට බොලිවුඩ් ඇක්ටර් කියලා සර්ච් එක දෙනවා, ඉම්රාන් ඛාන් ඉන්නවා. කිසි අවුලක් ආගාධයක් නැතිව ඔහු ජීවත් වෙනවා. මං ගැටළුවකට මැදි වෙනවා, මගේ මිතුරා වගකීම් විරහිත ගොසිප් කාරයෙක් වෙනවා. හැබැයි ඒ ගූගල් පිටුවෙම, ‘ඉර්ෆාන් ඛාන්’ ට්‍රෙන්ඩින් ලෙස පෙන්නනවා.

‘ඉර්ෆාන් ඛාන්’ මිය ගිය දිනය 2020.04.29 විදියට සටහන් වෙනවා. හින්දුස්තානයම කම්පාවෙන ආර්ටිකල්ස් තියෙනවා. ලංකාවෙනුත් ශෝකය ප්‍රකාශ වෙලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ කින්ද මන්ද විස්තරයක් තාමට මට හොයාගන්න බැරි වෙනවා. කොලිටිස් යැයි එකක් සඳහන් වෙනවා, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත කැන්සර් එකක් විදියට ඉන්ටනෙට් එක කියනවා. ප්‍රතිභාපූර්ණ රංගධරයෙක් නිසා අකුරක් ලියන්නත් හිතෙනවා. ඒත් අතිශෝක්තියෙන්, ඔහු මාගේ කැමතිම රංගන ශිල්පියෙක් ලෙස වර නැගීමට හිත වළකනවා. ඉතිං මං මගේ මතක අවුස්සනවා, ඔහුට යාවෙන ඔහුව ඈඳෙන. හින්දි සිනමාවෙන් එහාට මගේ මතකයක් ඔහු හා එක් වෙනවා.

හොලිවුඩ් අංක එක කියලා අපිට අඩමානෙට හිතුණට, ලෝකයේ අංක එකේ චිත්‍රපට කර්මාන්තය, බොලිවුඩ්. දෙවැනියට නොලිවුඩ් ඒ කියන්නේ නයිජීරියන් සිනමාව. හොලිවුඩය තෙවැනියට. ඒ කොහොම උනත් හොලිවුඩ් ෆිල්ම් එකකට දායකත්වය දෙන එක ඕනෑම රටක සිනමා කර්මාන්තයේ නියැලුණු කෙනෙකුගේ හීනයක්. ‘ඉර්ෆාන් ඛාන්’ හැමෝම පෙරුම් පුරන හොලිවුඩ් චිත්‍රපටි සෙට් එකකම රඟපාලා තියෙනවා. මාවල් චිත්‍රපටියක් වුණු ‘ඇමෙයිසින් ස්පයිඩර් මෑන්’ ෆිල්ම් එකේ ලැබ් එකක දර්ශනයකදී ඔහු දැකීමෙන් පළමු වතාවටත්, ‘ජුරාසික් වර්ල්ඩ්’ හීදී දෙවැනි වතාවටත් මං පුදුම උනේ, ‘අඩේ මේ අර ඉන්දියන් සපොර්ටින් රෝල් කරන ඩයල් එක නේද’ කියන දුප්පත් මයින්ඩ් සෙට් එකකින්. මේ ඒ පාපොච්චාරණයට හොඳම මොහොත.

දීපිකා පඩුකොන් නිසා ‘පීකු’ බැලුවා, ඉර්ෆාන්ට කැමති උනා. ආයිශ්වර්යා නිසා ‘ජස්බා’ බැලුවා, ඉර්ෆාන්ට කැමති උනා. රාධිකා මදාන් නිසා අන්ග්රේසි මීඩියම් බැලුවා, ඉර්ෆාන්ට කැමති උනා, ‘දුල්කර් සල්මාන්’ නිසා ‘කැර්වෑන්’ බැලුවා, ‘ඉර්ෆාන්’ ට කැමති උනා. කාලයක් රිපීට් කර කර අහපු ටෙම්පෝ සිංදුවක් මගේ ප්ලේ ලිස්ට් එකේ තිබුණා. ‘හින්දි මීඩියම්’ ෆිල්ම් එකේ නැගලම යන සිංදුව. ‘Oh hoho ho අනිවාරෙන්ම ඔයා අහලත් ඇති, ඒකට තනියෙම නටලත් ඇති. ඒ ‘කුවීන්’ චිත්‍රපටියේ ‘ලන්ඩන් තුමකදා’ සිංදුවට පස්සේ මං ආසම බීට් සිංදුව. ‘හින්දි මීඩියම්’ චිත්‍රපටිය නිසා 2018 දී ඉර්ෆාන් ට අයිෆා (iifa) සහ ෆිල්ම්ෆෙයාර් (filmfare) හී හොඳම නළුවාට හිමි සම්මාන පිරි නැමෙනවා. ‘හොඳම නළුවා’ වෙන්න ඉර්ෆාන්ට මෑතක් වෙනකම් ඉන්න සිද්ධ උනත්, ඔහු ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලබන්නේ 2011 දී. ඒ කියන්නේ ඉන්දියන් ජනරජය පිරිනමන හතරවන ඉහළම සම්මානය. රඟපාන පුද්ගලයෙකුට අපි නළුවෙකු කියනකොට, රඟ නොපා රඟපාන පුද්ගලයෙකුට අපි කියන නම, ඉර්ෆාන් ද, මම තාම කල්පනා කරනවා.

නුඹට ආදරය නොකළෙමි, නුඹේ චරිත වලට ආදරය කළෙමි, කරන්නෙමි !
ඉර්ෆාන්, අපි ආයෙම මුණ ගැහෙමු !

අනූ පෙරේරා | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.