Ads Top

හැබැයි සිරාවටම ත්‍රස්තවාදියෙක් නෙමෙයි !


හැබැයි සිරාවටම ත්‍රස්තවාදියෙක් නෙමෙයි ! 

සිත්තම් මායා | කිසා 

මටත් ඉන්නවා මුස්ලිම් නම තියෙන යාළුවෙක් 
ඌ තමයි මට කොළඹ ඇවිල්ලා හම්බ වෙච්ච 
පළවෙනිම යාළුවා 
මම දන්නේ නෑ ඇත්තටම 
ඌගෙ ජාතිය මොකක්ද කියලවත් එතකොට
දැක්ක පළවෙනි දවසෙම උනත් 
කොළඹ පාරවල් දන්නේ නැතිව නන්නත්තාර වෙලා හිටපු මාව 
ඌ මගෙ බස් එකටම ගෙනත් ඇරලෙව්වා
මොන මඟුලක්ද බන් මේ ජාති බේද 
එදා තමා මට ඒක තේරුණේ 
කොහොම හරි ඌ මගෙ හොඳම යාළුවා උනා කොළඹ 
කොළඹ කිව්වාට කොළඹම නෙමේ 
ඒත් ඌනම් හිතන් ඉන්නේ ඌ කොළඹ කියලා
රෑට නරි හූ කියනවත් ඇහෙනවා උන්ගෙ ගෙවල් ළඟ 
මොනා උනත් ඌ ත්‍රස්තවාදියෙක්නම් නෙමෙයි
ඒකට හේතු ගොඩක් තියෙනවා
ඌගෙ බඩේ බෝම්බ බඳින්න බෑ 
දැනටමත් උගෙ බඩ බලපුවාම 
බෝම්බ දහයක් විතර ගිලලා වගේ පේන්නේ 
අනිත් එක, 
ඌට බෝම්බයක් තියෙන බෑග් එකක් එල්ලන් අඩි දහයක්වත් යන්න බෑ 
ඌ ඒ තරමටම කම්මැලියෙක් 
ඒ නැතත් ඌට ඒකට පණ නෑ
අනිත් එක ඌට ඉන්න නංගිව බලාගන්න ඌට කඩු ඕනෙ නෑ 
ඒකිගේ කට ඇරියාම 
කඩු අරන් ඉන්න එවුනුත් ඒවා දාල දුවයි 
වත්ත සුද්ද කරන්න නම් කඩු ඕනෙම නෑ උන්ට 
මොකද ඌ වත්ත සුද්ද කරන්නේ නෑ 
ඌ ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියන්න ප්‍රබලම සාක්ෂිය 
ඔය එකක්වත් නෙමෙයි 
ඒ උනාට 
ඌට ස්වර්ගෙට ගියාම කන්‍යාවියෝ කෝටියක් දෙනවා කිව්වත් 
ඕකා යන්නේ නෑ
ඕකගෙ අර ඉන්න සිංහල කෙල්ලව දාල 
හැබැයි ඉතින් ඒකි කිව්වොත් 
මූ බුර්කාවක් උනත් ඇඳන් පාරෙ යන්න බැරිකමක් නෑ 
අනේ එහෙම ගිහින් ඕකා පොලීසියට අහු උනා කියලා දැන ගත්තොත් 
කවුරු හරි මට කියපල්ලා 
මම පොලීසියට ගිහින් කියන්නම් 
ඕකා ඔය ඔහොම යන්නේ මරාගෙන මැරෙන්න නෙමේ 
ගෑනිට බයේ කියලා
උන්ගෙ ගෙදරින් මට වඳ වෙන්න කෑම දෙන්නේ නෑ කියලනම් 
සීයට සීයක් ෂුවර් 
එහෙනම් ඉස්සෙල්ලා වඳ වෙන්නේ ඕකා
මොකද ඌ මට බෙදන කෑම එකෙන් හැමදාම උදුරගෙන කනවා
ආදරෙයි බං උඹට 
මම දැකපු එපාම කරපු එකා උඹ 
හැබැයි සිරාවටම ත්‍රස්තවාදියෙක් නම් නෙමෙයි ! 

#කිසා

Siththam Maya | Anu Perera. Powered by Blogger.