Ads Top

නිදහසක් නැති නිදහසක්



අපි අපේ කතාව නිදහසින්ම පටන් ගමු. පෙබරවාරි 4, ශ්‍රී ලාංකික අපේ නිදහස් දිනය. අත ලඟ. එදා සුද්දො අපේ රට පාලනය කරපු හැටි, ලංකාව නිදහස ගත්ත හැටි, නිදහස දුන්න හැටි, පුංචි කාලෙ ඉඳලම පොත පතින්, වැඩිහිටියන්ගෙන් අපි දැන ගත්තා. ඉතිහාසය ආයෙ ආයෙත් බුකියෙ යූත් එකට කියල දෙන්න උත්සහ කරන්නැ. අපි කතා කරමු සිද්ධාන්තික නිදහසකට එහා ගිය ප්‍රායෝගික නිදහස ගැන. "නිදහස" කියන්නෙ විප්ලවකාරි වචනයක්. ඇත්තටම නිදහස ගැන කොයිතරම් කවි, සින්දු, කතා ලියලා, කියවලා  අහලා ඇත්ද අපි. මුළු සමාජ සංස්ථාවම හොයන්නෙ නිදහස. නොයෙක් විදියට නොයෙක් අවස්ථාවල. ඒ තරම්ම විඳින්නට කැමති දෙයක් තමයි නිදහස.

ආදරේ කරන පෙම්වතුන් හොයන්නෙ සීමා නැති නිදහසක්, වැඩකරන කම්කරුවා, රාජකාරි කරන නිලධාරියා හොයන්නෙ අසීමිත වැඩ ලෝකයෙන් පොඩි මොහොතකට හරි මිදුණු නිදහසක්, ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිස හොයන්නෙ තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක පත්වෙලා ඉන්න පීඩනයෙන් මිදෙන්න පුළුවන් විදියෙ නිදහසක්, ප්‍රශ්නත් එක්ක හෙම්බත් වුණු සමහර ජීවිත අන්තිමේ ප්‍රශ්න වලට විසඳුම විදියට ගලප ගන්නෙ මරණය වැළඳගෙන ජීවිතයට නිදහසක්. ඉතින් අපි මේ හොයන නිදහස විවිධාකාරයි.




ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වලින් නීති රීති වලින් නොයෙක් ආකාරයට නිදහස මානව අයිතියක් විදියට මිනිස්සුන්ට දීලා තියෙනවා. හැබැයි ඒ සීමාවන් ඇතුලේ සදාචාරාත්මක සීමා, නෛතික සීමා වලට යටත් වෙලයි මේ නිදහස භුක්ති විදිය යුත්තේ. අසීමිත නිදහසක් මිනිස්සුන්ට දුන්නොත්, ලැබුනොත් ඒක වල් බූරු නිදහසක් වෙන එක නවත්තන්න සක්කරයගෙ පුතා වයිමටවත් බෑ. නිදහස අසීමිතව නරක විදියට භුක්ති විඳින්න ගිය තැන ලැබෙන්නෙ දඬුවම. හිරගෙවල් වලට වෙලා ඇඟිලි ගණන් කර කර කවදා නිදහස ලැබේවිද කියලා බලන් ඉන්නෙ ඒ වගේ ජීවිත. නිදහස අහිමි තැන තියෙන්නෙම සිරගත වීමක්. ඒක මානසික හෝ භෞතික සිරගත වීමක් වෙන්න පුළුවන්.

පුංචි කාලෙ ඉඳලම ගොඩක් වෙලාවට අපේ දෙමාපියෝ, වැඩිහිටියෝ, කරන්නෙ නිදහස සීමා කිරීමක්. ඕක කරන්න එපා, ඒක අල්ලන්න එපා, කෑ ගහන්න එපා, දුවන්න එපා, ප්‍රශ්න අහන්න එපා එකී මෙකී නොයෙක් විදියෙ වාරණ තහංචි. පුංචි කාලෙන් පටන් ගත්ත ඒ නිදහසේ සීමාවන් අවුරුදු 18 පැනලත් ගොඩක් වෙලාවට ගොඩක් අයට වලංගුයි. අපිට අපේ තීරණ ගැනීමේ නිදහස අහිමි වෙන අවස්ථා ඕන තරම්. ඒක වඩාත් හොද තීරණයක් වුනත් ඒක පැත්තක දාලා දෙමාපියෝ, වැඩිහිටියෝ කියන තීරණය ගන්න උඹටත් සිද්ධ වෙලා ඇති. නැත්නම් සිද්ධ වෙන්නත් පුළුවන් ඉස්සරහට.




නිදහස හිරවෙන එක තැනක් තමයි ඒලෙවල් වලට සබ්ජෙක්ට්ස් තෝර ගන්න එක. උඹ කැමති ආර්ට්ස් වලට වෙන්නැති, ඒත් අම්මලා කියන්නෙ බයෝ කරන්න කියලා. දෙමාපියන්ගෙ කැමැත්තට අකමැත්තෙන් වුනත් ඉඩ දීලා එ්ලෙවල් කරන්න ගොඩක් දුවලා, පුත්තුන්ට සිද්ධ වෙනවා. උඹ ආදරේ කරන කොල්ල හරි කෙල්ල හරි අන්තිම මොහොතෙ අත ඇරලා දෙමාපියන්ගෙ කැමැත්තට වෙන කෙනෙක්ව කසාද බඳින්න සිද්ධ වෙන්නෙත් මේ නිදහස අහිමි වුනු තැන තමයි. තමන්ට ගැලපෙන කෙනාට ආදරය කරන්න නිදහසක් නැති, තමන් දක්ෂ, තමන් ආස කරන දෙයක් ඉගෙන ගන්න නිදහසක් නැති, තමන් කැමති රස්සාවක් කරන්න නිදහසක් නැති, තමන් කැමති ඇදුමක් අදින්න, යාළුවෝ එක්ක පොඩ්ඩක් ඇවිදින්න නිදහසක් නැති කොටින්ම කීවොත් උඹට උඹ වෙන්න නිදහසක් දෙන්නැති සිස්ටම් එකක නේද අපි මේ ජීවත් වෙන්නෙ ?

උඹත් මමත් හදා ගත්ත ප්‍රතිරූප තියෙනවා. ගොඩක් වෙලාවට ඔය ප්‍රතිරූප බොහොමයක්ම සීමාවන් ඇතුලෙ හිරවෙච්ච, නිදහස වචනයකට පමණක් සීමා වුණු ප්‍රතිරූප. අපේ හදවත, මොලය ඉල්ලන නිදහස දෙන්න අපි බයයි. මොකද අපි හදාගත්ත ප්‍රතිරූප, සමාජය අපි ගැන හදාගෙන තියෙන ප්‍රතිරූපය වෙනස් වෙයි කියන බය නිසා. ඒකයි අපි අපි වෙන්න උත්සහ නොකර වෙන එකෙක්ව කොපි කරන්න උත්සහ කරන්නෙ. උඹට උඹේ අනන්‍යතාවක් හදා ගන්නවා වෙනුවට සිද්ධ වෙලා තියෙන්නෙ සම්ප්‍රදායික රාමුව ඇතුලේ හිරවෙච්ච තවත් එක් චරිතයකට පණ පොවන්න වෙන්න පුළුවන්. හැමදාම හැමෝම කියනවා වගේ ඩොක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වෙන හීන ඇරුනම ලෝකෙ දිනන්න පුළුවන් විදියෙ, වෙනස් විදියෙ හීනයක් දකින්නෙ කීයෙන් කී දෙනාද.




ලෝකෙ වෙනස් කලෙත් ඉස්සරහට ගෙනාවෙත් වෙනස් මානයක පුළුල් දැක්මකින් හීන දැකපු මිනිස්සු නිසා. ඒකට ඕන වෙනවා නිදහස් අදහස්, නිදහස් චින්තනයක්. ඒකට උඹ තව කෙනෙක් අතේ නටවන රූකඩයක් වෙලා නම් බෑ. විඳින, විඳවන ජීවිතේ එක්ක අපි තාමත් අපේ නිදහස හොයනවා. ඒත් පොඩ්ඩක් නිදහසේ කල්පනා කරලා බලපන් උඹයි මායි නැහීගෙන හොයන නිදහස තියෙන්නෙත් අපේ හිත් ඇතුලෙ, මොලේ ඇතුලෙමයි. උඹ තව එකෙක් නොවී උඹම වෙන්න ට්‍රයි කරපන්. එතකොට  ඇත්තටම උඹ නිදහස් මනුස්සයෙක් වෙයි.

#KD 

Siththam Maya | Anu Perera. Powered by Blogger.