Ads Top

HOPE Rebels


HOPE Rebels

සිත්තම් මායා | අනූ පෙරේරා 

මා තුල සෝබන වැඩ නැත, ඇත, පමණට වඩා නැත. විලාසිතා ගැන පමණට වඩා සිතන්නේ නැත, නොසිතා සිටින්නේද නැත. මේකප් ගැන වැඩි උනන්දුවක් නැත, නැත්තේද නැත. පොත් කියවීමට ආසාවක් ඇත, ඇතැම් විට නොමැත. කෙසේ හෝ මේ සෑම දෙයකටම මිශ්‍රව මා හට අරමුණු ඇත. අද වනතුරුත් මාගේ යම් අරමුණු අසම්පූර්ණය. අසම්පූර්ණ වූ අරමුණු හොඳට මතකය, ඉටුකරගත් දේ ගැන හාන්කවිසියට ගාණක් නොමැත. එය මිනිස් ගතිය හෝ ඇතැම් විට ලාංකික ගතිය විය හැකිය. තමන් ඉවර කළ ක්‍රියාවෙන් කිසිඳු විට සෑහීමකට පත් වන්නේ නැත. එවිට කෙතරම් යහපත් දෙයක් කළද ඉතිරි වන්නේ පාපකාරී සිතිවිලි ය. ඉතා සිල්වත් වූ කෙනෙක් හතර පෝයට සිල් ගැනීමට කෑදර නම් ( වාසනාවට එවන් අය නැත ) එහි අත් වන ප්‍රතිඵලය සහ සොරෙකු තම සොරකමින් සෑහීමකට පත් නොවීමේ ප්‍රතිඵලයත් එක ලෙස මම දකිමි. මා මේ කතා කරන්නේ ක්‍රියාවේ යහපත් අයහපත් බව නොවේ, සෑහීමට පත් වීම හා නොවීම පිළිබඳවයි. සොරා සහ සිල්වතා එක් කුලකයකට නොදමයි. 

මා තුල අධිකව සෑහීමට පත් නොවීමේ ලක්ෂණය පවතින බව මම තේරුම් ගතිමි. එය මා නිර්වචනය කළේ උණක් සේය. එනමුත් අධික ආශාව ආගමක් සේ බැලුව කළ පටහැනිව උර ඔසවයි. එසේනම් ලොවට නවෝත්පාදනයක් මා ලබා දෙන්නේ කෙසේද ? මා දකිනා පරිදි නවෝත්පාදනයක් ලොවට බිහිවන්නේ යම් පුද්ගලයෙකුගේ අසීමිත ආශාවක ප්‍රතිඵලයක් ලෙසටය. එසේනම් එය මටත් පොදු වෙයි. 

සත්‍යය නම් මා, මා ගැන කල්පනා කරන විට ආත්මාර්ථකාමිය. දෙමව්පියන්, යහළුවන් සහ වටේ සිටින අය නිසාවෙන් මම ජිවත් නොවෙමි. අදටත් මාගේ සිහින, බලාපොරොත්තු මා ජිවත් කරවයි. බලාපොරොත්තුවක් නොමැති දිනෙක කුමන වයසක සිටියද මා මරණය තෝරා ගනු ඇත. ඔබ මා සමඟ එකඟ නොවන්නේ නම් කෙදිනක හෝ පුවත් පතක් ගෙන බලන්න, එහි සඳහන් නම්, ' පෙම්වතෙකු තම පෙම්වතියව ඝාතනය කරයි ' කියලා, එහි සුල මුල සිතා බලන්න, මානසික මට්ටමේ වෙනසක් පවතින නමුත් පාදක වන්නේ එකම කරුණයි, ඒ බලාපොරොත්තුවක අවසානය දරාගැනීමේ ශක්තියේ ප්‍රමාණයයි. තවත් පිටුවක ' අනියම් සැමියා සමඟ එකතු වී තම සැමියා සහ මාස හයක බිලිඳා ඝාතනය කළ බිරිඳ අත්තඩන්ගුවට ' , ලෙස ඇති නම් එහිත් එලෙසමයි. අනියම් සැමියා සමඟ සිටීමේ බලාපොරොත්තුවට  බාධාව වූ තම සැමියා සහ එකම බිලිඳා මරණයට පත් කිරීමට ඇගේ සිත හයිය ඇත. 

ඒ බලාපොරොත්තුවේ වෙර යහපත් දෙයකට ගත හැකි නම් ලාංකීය නාමය නොබෙල් අතර රජ කරවීමට හැකියාව ඇත. බලාපොරොත්තුව ශක්තිමත් කරගත යුතුවේ. එය උදා කරගන්නා තෙක් අහිංසක ආත්මාර්ථකාමී බව සිතේ තබාගැනීම මා නම් වරදක් සේ දකින්නේ නැත. මිනිසුන් බනිවි, පිස්සෙකු යන ලේබලය ගසාවී. නමුත් අමතක නොකරන්න දිනෙක ලොවක් නුඹට සර් / මැඩම් කියාවී. 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.