Ads Top

මන්ජල් කුරුවි


සිත්තම් මායා | අනූ පෙරේරා 


ගොඩක් කාලෙකින් blog එකට article එකක් ලියන්න ගත්තේ. ලියන්න දෙයක් නැතුව නෙවෙයි වෙනදාටත් වඩා ලියන්න දේවල් තිබුනත් මේ දවස්වල වෙන විශේෂ වැඩ කිහිපයක්ම කරගෙන යන නිසා පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ. හැබැයි අද ගැන නම් මොන විශේෂ වැඩක වුනත් නොලියා ඉන්නම බැරි උනා. මොකද දවසක් වගේ පුංචි කාලෙකදී මගේ හිතේ ලොකු ඉඩක් ගත්තු යාළුවෙක් හම්බවුන නිසා.

ඔය උඩ මාත් එක්ක සෙල්ෆි චායාරුපයක ඉන්නේ මම අර කිව්ව මගේ හිත ගත්ත පුංචි යාළුවා. මෙයා මට මුණගැහුනේ ලොකු වලියක් අතර මැදදී. අද (2015.06.07) නිවාඩු දවසේ උදේ පාන්දර අටට විතර නැඟිටලා පොඩ්ඩක් ඇඟ මැලි කඩ කඩ එහෙට මෙහෙට වේවි ඉන්නකොට තමයි මෙයාව මම දැක්කේ. හොල්මන වගේ හිටපු මම දඩස් ගාලා දුවලා ගියා වෙන්නේ මොකද බලන්න. කපුටෝ සෙට් එකක් කහ කුරුල්ලෙක්ව වටකරගෙන උට හොඳටම කොටනවා. හම්මේ කොහොම උහුලන්නද මම, පැනගෙන ගිහින් කපුටෝ ටික එළවලා කහ කුරුල්ලව බේරාගත්තා. උන් හැදුවේ කහ කුරුල්ලවත් අරන් යන්න. හඃ ඒවා කොහෙද මේ අනූ එක්ක. ඌ හොඳටම බය වෙලා හිටියේ. කවුද බය නොවෙන්නේ ඒ වගේ තත්වයක් උඩදී නේද ? ඊටපස්සේ බොහොම පරිස්සමට මම රෙදි කෑල්ලක ඔතාගෙන ගෙදර ගෙනාවා. 


කවන්න පොවන්න හැදුවත් බයට කෑවේ බිව්වේ නෑ. ටිකක් බය ඇරෙන්න එයාට එයාගේ පාඩුවේ ඉන්න දුන්නම හරි යයි කියලා හිතුන නිසා කාමරේකට දාලා වහලා තිබ්බා. පැයක් විතර ගියාට පස්සේ මම කාමරේට ඔළුව දාලා බලනකොට එයා හිටියේ මෙන්න මෙහෙම. සමහරවිට එයාට අම්මව හොයාගෙන යන්න ඕනෙකම තියෙන්නේ ඇති. ඒත් එයාගේ ලොකු තුවාල එක්ක බඩගින්නේ එයාව යවන්න කියලා මගේ හිත නම් කිව්වේ නෑ. එයා හිටියේ දුර්වල තත්වෙක. ආයෙමත් කපුටෝ කොටන්න ඉඩතියෙනවා. ඒත් අම්මගෙන් වෙන් කරලා තියාගන්නත් පව්. මම දෙපැත්තක හිර වෙලා හිටියේ. 


කොහොමින් කොහොමින් හරි මම එයා එක්ක ගොඩක් වෙලා ඔට්ටු වෙලා පුළුන් කෑල්ලකින් වතුට පෙව්වා. ඒවගේ කෙලෙහිගුණයක් විදියට එයා මට දිගට හරහට කෙටුවා. හැබැයි ඉතින් එයා පුංචි පැටියෙක් නිසා මට රිදුනේ නම් නෑ. රිදුනේ නැත්තෙමත් නෑ. මොනවා කරත් එයාට තිබ්බ ආදරේ නම් අඩු උනේ නෑ. මොකද එයාගේ තත්වේ මම තේරුම් ගත්ත නිසා. එයාගේ තැන මම හිටියනම් මම කරන්නෙත් කන්න දෙන අත හපා කන එක තමයි. මොකද ඒ අවස්ථාවේදී එයා හිටියේ මේ ලෝකේ පණක් තියෙන කෙනෙකුට දැනෙන ලොකුම බයත් එක්ක. " මරණ බය " එක්ක. ඒ මරණ බයත් එක්ක බොන්න දෙන වතුරත් පෙන්නේ වහ දෙන්න හදනවා වගේ කියන එකයි මගේ අදහස. ඒ නිසා මම එයාට දොස් කියන්නේ නෑ. 

අද දවසම මම එයා එක්ක කාර්යබහුල වෙලා හිටියේ. මගේ මහන්සියේ ආශිර්වාදයේ ප්‍රතිඵලයක් විදියට එයාගේ වර්ධනයක් මම දැක්කා. එකම තැනකට වෙලා පැත්ත ගහගෙන හිටපු එයා හවස් වෙනකොට වැඩර් වගේ කාමරේ එහෙට මෙහෙට පියාඹන්න ගත්තා. එයාව අල්ලගන්න ගිහින් හයියූ මම විඳපු දුකක්. එයාට තටු ගහලා පියාඹන්න පුළුවන් කියලා දැනුන නිසා එයාව නිදොස් කොට නිදහස් කරන්න ආණ්ඩුකාර අනූ පෙරේරා තීන්දු කළා. ඔය පහළින් තියෙන්නේ එයාගේ නිදහස සම්බන්ධයෙන් හා  ආණ්ඩුකාරතුමියන් හා ගත් නිදහස් චායාරුප දෙකක්. 




පුළුවන්නම් ඔයාලත් එයාට ඉක්මනට හොඳ වෙන්න සහ අම්මවයි තාත්තවයි ඉක්මනට මුණ ගැහෙන්න කියලා ප්‍රර්ථනා කරන්න යාළුවනේ ...

සටහන අනූ . 

Siththam Maya | Anu Perera. Powered by Blogger.