Ads Top

" ළපටි ආදරවන්තයෝ "



සිත්තම් මායා | අනූ පෙරේරා 

දන්නවද උඹේ අම්මා උඹට කොච්චර ආදරෙයිද කියලා 
දන්නවද උඹ උඹේ අම්මට කොච්චර ආදරෙයිද කියලා 
ඒක තීරණය කරන්න තමයි උඹේ කරදඬු උස් වෙනකොට,
උඹට හැඟීම් දැනීම් ඔය මොට්ට මොළයට
පළුදු හදවතට ගලාගෙන එන්නට ඉඩ සැලසෙන්නේ 
උඹ අහසින් පාත් උනේ නෑ
උඹ දෙවියන්ගේ දරුවෙක් උනෙත් නෑ 
මහමෙරක් උහුලාගෙන උඹේ ඔය අත් පය උස් කලේ 
හිතේ අපමණ දුක් වේදනා හංගාගෙන 
අදටත් ගෙදර අන්තිමේට කන්නේ කවුද ?
උඹේ අම්මා නොවෙයිද ?
කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් 
මොකද්ද මේ නටන නාඩගම ?
අම්මෙක් දරුවෙක්ව හදන්නේ හැමදාම ගෙදර තියාගන්න 
තමන්ගේම කරගන්න නෙවෙයි
කලට වයසට ඒ ඒ දේවල් කරලා දෙන්න අම්මෙක් දන්නවා 
එහෙම නොවෙන්න උඹ අම්මා වෙලා අම්මා උඹ වෙනවා 
දැන් උඹ ඔය හොයන භාර්යාව, සැමියා  
කිසිදිනෙක උඹ සතු නොවෙන වග නම් 
හොඳාකාරවම විශ්වාසයි 
අම්මගේ පොඩි පුතා උඹ 
කොහෙවත් යන එකෙකුගේ එකියකගේ 
භාර්යාවක් සැමියෙක් නොවෙයි 
දිනෙක උඹ පසුතැවෙයි 
එදාට උඹ පමා වැඩි වෙයි 
කල වරද ආපිටට ගන්නට බැරි තැනක උඹ ඉඳියි 
එහෙම නොවෙන්නට හදවතින්ම පමණක් නොව 
මොළයෙන් ජිවත් වෙන්න 
හදවතට මනුස්සකම දෙන්න 
මොළයට බුද්ධිමත්කම දෙන්න 
උඹ වැජඹේවී ධජයක් විලසින් 
උඹේ එඩිතරකම රැව් දේවි දසතින් 
වටිනාම දේ නම් 
උඹේ මව උඹ වෙනුවෙන් සතුටු කඳුළු වගුරාවී 
මේ මිහිකත,
එවන් උදාර මාතාවකගේ කඳුලින් තෙත්වන මොහොතක 
උඹේ වස් දුරු වී නොගැයූ සෙත් උඹට ලැබේවි  
මිනිසෙකු ලබන විශිෂ්ඨතම සම්මානයෙන් 
උඹ පිදුම් ලබාවි 
එවන් අභිමන් පුතෙක් තැනූ 
ගෞරවය ඇයට ලැබේවි 
දසමසක් රුහිරය කිරට හැරවූ 
මිල නම් ගෙවන්නට නොහැකි වේවි 
නමුත් ඒ අභිමානයෙන්  ඇය 
දුප්පත් පැලේ රැජිණ වේවි 

සටහන,
- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.