Ads Top

" පුංචි නෝනා නොවෙමි "



සිත්තම් මායා | අනූ පෙරේරා

ඇය කිසිවක් නොකියයි
නමුත් අයදියි
නොතේරෙයි නුඹ කුමන වර්ගයේ යාචිකාවක්ද යනවග
නමුත් මහද
නුඹ කෙරෙහි දුක්සුසුම් පුරවාලයි
කීම අපගේ බැදියාව
නුඹ කොළොම්පුරයේ තවත් එක් යාචිකාවක් නොවන්නේද
කිසිදිනෙක අප හමුවී නොමැත
අප හඳුනන්නේද නැත
මා පිළිතුරු සොයමි
නුඹ මවක නිසාද
නැත එය නොසෑහෙයි
ඉනුත් ඔබ්බට මසිත රිදවාලයි
මවක් සිඟමන් යැදීමේ හදගිනි නොවෙයි
දිනක් දෙකක් නොව දින ගණනින්
පිළිතුරු සෙව්වෙමි
කල්පනාවේ ප්‍රතිපලයෙන් 
පිළිතුරු ලදිමි
කොටුව පාලමෙන් දුම්රිය ස්ථානයට එන මඟ
ඒමත චීත්ත ගවුමෙන් සැරසුනු
නුඹ දෙස බලමින් කල්පනා කරමින්
නුඹ දෙසට ඇදී එනවිට
අතපාමින් දෙනෝදාහක් සෙනඟ මැද
කිසිවෙකු සිල්ලරයක් නොතැබූ නුඹ අතට
බස් නැවතුමේ ඉතිරි සිල්ලරය තබන කල
සිත සැලුනි අවඥාගත වටපිටාව හෙයින්
ඉනික්බිති යන්නට සැරසුනු මට
නුඹ දෑත් එකතු කල මොහොත
නුඹේ දෑස කෘතගුණයෙන් බරව තිබූ මොහොත
හදවත නවතාලු බව
ආදරණීය යාචක මව්නි
අත් බෑගය මාන්නෙන් හොවා
කොන්ද කෙලින් අඩිඋස් දැමුවාට
මම නුඹට පුංචි නොනේකු නොවන්නෙමි
දියණියක කිව හැකි මා ඉදිරියේ
ගරු බුහුමන් අපේක්ෂා නොකරන්නෙමි 
සමාජයෙන් නොව නුඹගෙන්
මන්දිරයෙන් එලවා නුඹේ දරුවන්
යළි නුඹට අඩ නොගසාවී
නුඹ බලාපොරොත්තු අතහැර නොවේද
මම නුඹේ දෑස් කියෙව්වෙමි
කල්පනාවේ මොහොතක
මා මසිතින්ම ප්‍රශ්න කලෙමි
' ඇය යාචක ව්‍යාපාරයක සේවිකාවක් විය හැකි නේද '
මා විසින් මටම පිළිතුරු දුන්නෙමි
' අනේ මොට්ට සිත අමතකද ඇගේ දෑස,
 නුඹ එය කියෙව්වා නේද
ව්‍යාපාරයක් වුවද ඇගේ දෑස පිරිසිඳුයි නේද '
මා කරගත් පින තව දුරටත් මා අතින් බාල්දු නොවුනි
ඉදිරියේ හිමි වන පළමු වැටුප
මවට පියාට වුනු පොරොන්දු ඉටු කරන අතරේ
නොදන්නා නොහඳුනනා
ඇයට චීත්ත ගවුමක් අරන් දිය යුතු බව
ආඩම්බර සුසුමක් පිටකළ මා මටම පොරොන්දු විමි

Siththam Maya | Anu Perera. Powered by Blogger.