Ads Top

" ගිනියම් පිරිමි නුඹට "


ගැහැණියකට වඩා මද පින් ප්‍රමාණයකින් උපත ලැබූ පිරිමි නුඹ
ගැහැණියක කුස හිඳ ගැහැණියක ලෙය ඉරු නුඹ
ගැහැණියකටම සහෝදරයෙක් වුනු නුඹ
ගැහැණියකම නුඹේ කැත කුණු අත ගෑවෝය
නුඹ වෙනුවෙන් ගැහැණියකම හෙවණැල්ල වූ කල
අසීමිත සෙනෙහස නිර්ලෝභීව තිලිණ ලද නුඹම
තන් පුඩුව යෝනි මාර්ගය ඉදිරියේ නුඹ ගිනියම් උනේ කොහොමද ?
අමතක කරන්න එපා
නුඹට නුඹේ උතුම් අම්මා ජිවිතේ දුන්නේ එතනින්
නුඹ ශක්තිමත් පිරිමියෙක් උනේ ඒක උරලා
නුඹ රාගයේ ප්‍රතිපලයක් තමයි
නමුත් නීතිය ඉදිරියේ දයාබර සැමියෙකු ලෙස පිළිගත්
නීතිය ඉදිරියේ දයාබර බිරිඳක් ලෙස පිළිගත්
ශ්‍රේෂ්ඨ අම්මෙකුගෙයි තාත්තෙකුගෙයි
රාගයේ ප්‍රතිපලයක් නුඹ
කාමර ගානේ රස්තියාදු වුනු නපුංසකයෙකුගේත්
පතිවත පයට පෑගෙන දුහුවිල්ලක් ගානට දැමූ ගණිකාවකගේත්
අවජාතක ප්‍රතිපලයක් නොවේ නුඹ
එහෙව් වැදගත් කමක් ඇති නුඹ වයස මෝරනකොට
ගැහැණු උන්මත්තකයෙකු වන්නේ කොහොමද ?
ගැහැණු ලය මත නුඹේ සිහින ගොඩ නගන්නේ කොහොමද ?
නුඹෙන් රැකගෙන නුඹටම පුදන දේ තුට්ටු දෙකට දාන්නේ කොහොමද ?
ලිංගිකත්වයේ අවයව නෙවෙයි ඒ,
සෙනෙහසේ උපරිම තැන්
පොලවේ පය ගහලා ජිවත් වෙන මනුස්සයෙක් හදන පිළිවෙල නෙවෙයි
පොලවේ පය ගහලා ජිවත් වෙන මනුස්සයෙක් හදන පිළිවෙතයි ඒ
අමතක නොකරන්න
නුඹට නුඹේ වැරදි සඟවන්නට හැකියි, ලෝකෙන්ම සඟවයි
නුඹෙන් නුඹට සමාවක් නම් නැත
ස්ත්‍රී දුෂකයෙකු කිසිම මවක් ජාතක කලේ නෑ
වෙනස් උනේ නුඹමයි, වැරැද්ද වැළඳ ගත්තේ නුඹමයි
අම්මා එපා කියලා බැගෑපත් වනකොට
හොරෙන් උන්ව ආශ්‍රේ කලේ නුඹමයි
එවන් නුඹව පොරක් සේ දැකීමට නුඹේ ගැන්සියේ ඕනේ තරම්
නමුත් මට නුඹ පෙනෙන්නේ එක්තරා පොන්නයෙකු ලෙසයි
ගැහැණියකට ගරු නොකරන නුඹට ගැලපෙන වෙන වචනයක්
මගේ හෝඩියේ නැත

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.