පිරිමි ලංසුවක් - 06 කොටස
අත්තම්මා නැතිව පිට ගෙදරක ගෙවෙන පළවෙනි රාත්‍රීය සිතුම්ගේ හිතට දැනුණේ කියාගන්න බැරි දුකක්ත නිකමක්. අත්තම්මා මොනවා කරනවා ඇද්ද හිතට දැනුන වේදනාව කඳුලකින් පිට වෙන්න අර අදිද්දී කොට්ටේ මූණට තද කරගෙනම ඒ හැඟීම් නැති කර ගන්න උත්සහා කලා. ඉඳ හිට කන මදුරුවෙක්ගෙන් ඇරෙන්න කොල්ලට නිදා ගන්න කාගෙන්වත් බාධාවක් තිබුණේ නැහැ. මහන්සියට පොඩි එකාට හොඳ හැටි නින්ද ගිහින් තිබුණා.
එදා රෑ හීනෙන් සිතුම් සුද්දත් එක්ක සෙල්ලම් කරා. ආයේ කවදාවත් සෙල්ලම් කරන්න ඒ වගෙ කාලයක් එන්නෑ කියන එක හිතට දැනෙද්දි පොඩි එකා හීනෙන්නුත් ඉකිබින්දා.
“කොල්ලෝ නැගිටපන් දැන්”
“අටත් පහු වෙලා”
“නිදා ගත්තා ඇති නොව”
“මූණ කට හෝදන් තේ ඩිංගක් එහෙම බොමු”
ඊයේ හවස බනිස් ගෙනත් දීලා සංග්‍රහා කරපු වයසක උන්දැ ඇවිත් සිතුම්ගේ මූණට එබිලා හිනා වෙලා කියනවා අහගෙනම සිතුම් නිදි ගැට කඩමින් ඇස් ඇරියා.
ගමේදි නම් පාන්දර ජාමෙට කුකුල්ලු කෑ ගහන සද්දේ එක්ක නැඟිටින අත්තම්මා සර සර ගගා පොල්කොල ලිපට ඔබන සද්දේ සිතුම් අහගෙන ඉන්නේ පොරෝගෙන ඉන්න චීත්ත රෙද්ද අස්සෙ තව තවත් ගුලි වෙන ගමන්.
කිතුල් හකුරු කෑල්ලයි කහට කෝප්පෙයි අත්තම්මා සිතුම්ගේ අතට ගෙනත් තියද්දිත් කොල්ලා ඉන්නේ ඇස් පියාගෙන නිදිමතේ කෙඳිරි ගගා. හිමීට ලංවෙලා අත්තම්මගෙ උරහිසට ඔළුව තියාගන්න හදද්දි අත්තම්මා බොරු තරහ මවාගෙන කොල්ලට කෑ ගහනවා.
“බොරු හුරතලේ නැතුව ඕක බීලා කෝප්පේ දීහන්”
උදේ පාන්දර පොල් අතු අස්සෙන් හිනාකටක් පුරෝගෙන අහස ඉරාගෙන පායන ඉර මේ කොළඹ අහසේ සිතුම්ට දකින්න ලැබුණේ නැහැ.
වයසක සීයත් එක්ක හිනා වීගෙනම කොල්ලා නැගිට්ටේ අලුත් ගෙදරක අලුත් අත්දැකීම් ලබන්න කුතුහලය පිරුණු ආසාවෙන්.
දවසින් දවස කාලය වේගෙන් ගලාගෙන ගියා. සිතුම් ටිකෙන් ටික එඩ්වින් මහත්තයගේ ගෙදර පරිසරයට හුරු වුණා.
කොල්ලට එඩ්වින් මහත්තයගෙ ආදරය දිනා ගන්න වැඩි දවසක් ගියේ නැහැ. ඔහුට අයිති ගේ ඉස්සරහම තිබුණු වාහන අලුත් වැඩියා කරන ස්ථානය පොඩි එකාට හුරුපුරුදු තැනක් වුණා. ලොකු මිනිස්සු කාර්යබහුල වෙන හැම මොහොතකම ඔවුන්ට අත් උදවු දෙන්න පුංචි සිතුම්ට පැවරිලා තිබුණා.
“පොඩ්ඩෝ”
“අර ඇණ ටික දීපන්”
“පොඩ්ඩෝ හොඳ කොලුවා වගෙ මේ ටික අතුගාලා දාපන්”
“පොඩ්ඩො අර මහත්තයට ඉඳ ගන්න පුටුවක් ගෙනත් දීපන්”
“මං කියලා දුන්න විදියටම යතුර කරකවලා ඔය වාහනේ ටිකක් ස්ටාර්ට් කරපං”
කට්ටියගෙ වැඩ වලට සිතුම්ව නැතුව බැරි වුණා.
කොල්ල කට්ටියගෙම හිත් දිනාගෙන වැඩත් ටික ටික අල්ල ගත්තා. අවුරුදු දහතුනක් වෙද්දී පොඩි එකා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගෙන තිබුණා.
ගමේදි රන් මහත්තයා වුණු සිතුම්ව කොළඹ වටපිටාවේ ‘පොඩ්ඩා’ විදියට කවුරුත් ලෙන්ගතුව ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙලා හිටියා. පොඩි එකාගේ තිබුණ හුරුබුහුටි ගතියට කොයි කවුරුත් ආදරේ කරා.
එඩ්වින් මහත්තයට අයිති වාහන අලුත් වැඩියා කරන සේවා ස්ථාන වල ශාඛා කීපයක් රට පුරා ව්‍යාප්තව තිබුණා. පරම්පරාගත ව්‍යාපාර හිමියෙක් විදියට ඔහු එම ප්‍රදේශයේ ප්‍රකටව සිටියා.
ඔහුට එක පුතෙකුත් දියණියන් දෙදෙනෙකුත් සිටි අතර එඩ්වින් මහත්තයගෙ බිරිඳ විශාකා, නිහතමානි කරුණාවන්ත ගැහැණියක් වුණා.
ලොකු ළමයි දෙන්නා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි අතර අවුරුදු දාසයක් වුණු බාල දියණිය නයෝමිගේ හැසිරීම් විලාශය විටෙක කවුරුත් අනුමත කලේ නැතත් පවුලේ බාලයා නිසා ඇයට අනවශ්‍යය ලෙස තරවටු නොකරන්න කවුරුත් උත්සහා ගත්තා.
ඉඳ හිට “පුතේ” කියා කතා කරන විශාකා සිතුම්ට බොහෝ සේ සෙනෙහෙවන්ත වනවා දුටු විට නයෝමි ඒ දේවල් දරා ගත්තේ ඊර්ෂ්‍යාවක් මුසු වුණු කේන්තියකින්.
“කොහෙවත් ඉඳන් ආව කොල්ලෙක් කොහොමද අම්මට පුතා වුණේ”
“ඔහොම කතා කරන්න එපා දරුවෝ ඒකා මෙහෙට ආවෙ ගැරාජ් වැඩට”
“ඉතින් අම්මා මොකටද ඔය කිළුටු කොල්ලෝ නළවන්නේ”
ඉඳහිට තමන්ගේ කනටද ඇසෙන මේ අරියාදුකම් විඳ දරා ගන්න අවුරුදු දෙකක් තිස්සේ සිතුම් පුරුදු වෙලා හිටියා.
විශාකාගෙ කරුණාවන්ත මුහුණ සිතුම්ට මේ දේවල් දරා ගන්න ලොකු ශක්තියක් වුණා.
නපුරු අදහස් හිත තුල එකතු කරගෙන සිටි ගෙදර උදවියත් එක්ක නිරතුරුම ඇය රණ්ඩුවට ගියේ කිසිඳු හේතුවක් නැතුවම. ලොකු දුව මේනකාත්, පුතා අසංකත් සිතුම්ට හැම විටම සහෝදරත්වයෙන් සැලකුවා.
තම දරුවෝ තිදෙනාට හා සමාන ආදරයක් නිරන්තරයෙන්ම සිතුම්ටද පිරිනමන්න විශාකා උත්සහා ගත්තේ පොඩි එකා ගැන උපන් කරුණාවෙන්.
“එඩ්වින් පොඩ්ඩවත් ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවොත් නරකද”
එඩ්වින් විවේකී පාඩුවේ සිටින වේලාවක විශාකා ඔහුට යෝජනා කළා.
“පව්, දක්ශ කොලු පැටියා”
“මේ ගෙවිලා යන්නේ කොල්ලට පොත පතේ දැනුමක් ලබන්න ඕන කාලේ “
“බලමු මං ඒ ගැන ටිකක් හිතන්නම් විශාකා”
“මට නම් හරි දුකයි අපිටත් දරුවෝ ඉන්නවනෙ එඩ්වින්”
“හවස් වරුවේ ගැරාජ් එකට යන්න පුළුවන්නේ අත් උදවු දෙන්න”
පසුදිනෙක, සිතුම්ව වත්තල කතෝලික පාසලට ඇතුළත් කරන්න දෙදෙනාම බාරකාරයන් විදියට ඉදිරිපත් වුණේ, විශාකා ගත් උත්සහය ජයග්‍රහණය කරමින්.
අමා සිල්වා | සිත්තම් මායා
Comment with Facebook