Ads Top

ආදරේ ඇතුළේ සිරවෙලා කියලා දැනෙන හැඟීම නවත්වගන්නේ කොහොමද දන්නවාද?

ආදරේ කරනකොට ගොඩක් වෙලාවට අපි කරන වැරැද්දක් තමයි අපේ සම්පූර්ණ පැවැත්වම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය මතිනම ගොඩනඟා ගන්න උත්සහ කරන එක. මේ නිසාම අපි නොදැනුවත්ව ම මානසිකව අනෙකාහේ හිර කාරයෙක් බවට පත් වෙනවා. ආරම්භයේදී හේතු කිහිපයක් නිසා ඔබ ඔබේ ආදර සම්බන්ධතාවයේ හිර වෙලා ඉන්නවා කියලා දැනෙන්න පුලුවන්. ඔය තත්ත්වයේදී ඔබ ඔබේ පෙම්වතා/පෙම්වතිය මත වැඩිපුර යැපෙන්න පෙළඹෙන නිසා එතනින් එහාට ඔබේ ජීවිතය තනිවම ගෙවන එක ගැන සිතීම පවා බියක් ගෙන දෙනවා.

ඊළඟට ඔබ දෙදෙනා අතර සමථයකට පත් කර ගන්න බැරි වෙනස්කම් තියනවා කියලා තේරුණාමත් ඔබට කොටු වී ඇති බවක් දැනෙන්නට පුළුවන්. විවාහ වුණාට පස්සේ මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් දරුවන් දුක් විඳිනවා දකින්න අවශ්‍ය නැති නිසා සැමියාව හැර යන්න බිරින්ඳැවරුන් කැමති වෙන්නේ නෑ. මීට අමතරව බලපාන හේතු කාරණාත් තියනවා. නමුත් මේ හිර වීම කියන කාරණයේ තියන බරපතළම සත්‍යය තමයි ඔබ හිත ඇතුළේ ගිලෙමින් පවතින ඒ හැඟීමෙන් මිදෙන්න ඔබට බැරි නම්, ඔබේ සමස්ත යහපැවැත්මට ම ඒකෙන් හානි වෙන්න පුලුවන් කියන එකයි.

වැඩිපුරම මේ හැඟීම උග්‍ර වෙලා දැනෙන්නේ පෙම්වතියන්ගේ පාර්ශවයටයි. මොකද ආදර සම්බන්ධතාවයක් පටන් ගද්දී කිසිම පූර්ව නිරීක්ෂණයක නොඉඳ තමන්ගේ ජීවිතයේ ජීව ගුණය සහ පැවැත්ම පෙම්වතාට පූජා කරලා ඉවර වුණාට පස්සේ ඇති වෙන හිස්කමේ දී තමයි ඔවුන්ට තේරෙන්න පටන් ගන්නේ තමන් කොච්චර කොටු වීමක් වෙලා ද කියලා. ඒ නිසා පරෙස්සම් වෙන්න. ඔබ කොටු වෙලා ඇති බව දැනෙන එක නවත්වාගන්න උත්සාහ කරන්න :

සහයෝගය ලබා ගන්න...

ඔබේ ජීවිතයට ශක්තිමත් ආධාරක පද්ධතියක් ගොඩනඟා ගන්න මෙම කාලය හා අවස්ථාව උපයෝගී කර ගන්න. ඒකට මුලින්ම මෙච්චර කල් ඔබෙන් ඈත් වෙලා හිටපු ඔබේ යහපත පතන පවුලේ සාමාජිකයන් නැත්නම් අවංක මිතුරන් එක්ක නැවතත් නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න. ඔබ අවට ලෝකයෙන් හුදෙකලා වෙලා නිහඬව දුක් විඳින්න ලෑස්ති වෙන්න එපා. ඔබගේ සමීපතමයන් සහ ආදරණීයයන් සමඟ ආයිමත් කතා කරන්න පටන් ගත්තාම ඔබ තනි වෙලා නැති බව ඔබට ම තේරෙන්න පටන් ගනියි.

ස්වයං රැකවරණය ගැන අවධානය දෙන්න...

හිත ඇතුළෙන් උපදින ඍණාත්මක හැඟීම් ඔබේ යහපැවැත්මට හානි පමුණුවනවා නම් ඒ ගැන දැන් ඉඳන්ම යමක් කරන්න පටන් ගන්න! විශේෂයෙන්ම ඔබ ගැන සැලකිලිමත් වීම කෙරෙහි අවධානය යොමු කරන්න. හොඳින් ආහාර ගන්න, ව්‍යායාම කරන්න සහ ඔබේ නින්දට එන බාධා වලින් මිදෙන්න. ඔබේ අවධානය වෙනතකට යොමු කරවන සමාජ මාධ්‍ය වල කාලය කා දමන එකත් නවත්වන්න. ඒ වෙනුවට ගෙදර ඉඳන් කරන්න පුලුවන් අලුත් විනෝදාංශ කිහිපයක් ඉගෙන ගන්න පටන් ගන්න. හොඳ පොතක් කියවන්න උත්සහ කළොත් හෝ ඔබට දැනෙන හැඟෙන දේවල් නිර්මාණාත්මකව ලියන්න පටන් ගත්තොත් ඔබේ ඇතුළාන්තයෙන්ම ලොකු නිදහස් බවක් දැනෙයි.

ඉලක්ක නැවත ආරම්භ කරන්න...

මෙච්චර කල් ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ පත් වෙලා හිටපු නොසතුට නිසා ඔබේ වෘත්තීය අරමුණු පැත්තකට දමලා තිබුණා ද? එහෙනම් දැන් නැවත ඒවා ගැන අවධානය යොමු කරන්න කාලය හරි. ඔබේ වෘත්තිය ජීවිතය නැවත ආරම්භ කරන්න පුලුවන් ආකාරය ගැන සිතන්න. ඔබට දැනටමත් රැකියාවක් තිබෙනවා නම් ඔබේ අතේ ඇති ව්‍යාපෘති ගැන අවධානය යොමු කරලා ඉදිරියට යාමට අවශ්‍ය ඔබේ උත්සාහයන් වේගවත් කිරීමට සැලසුම් සකස් කරන්න. ඔබ පූර්ණ කාලීනව රැකියාවෙන් ඈත් වුණා නම් ඔබට ඉක්මනින් නව රැකියාවක් ලබා ගන්න පුලුවන් වෙන විදිහට අලුත් වෘත්තීය නිපුණතා හා සුදුසුකම් සපුරා ගන්න පුලුවන් පාඨමාලාවක් පටන් ගන්න උත්සහ කරන්න.

අතහරින්න එපා

සමහර විට දැනටමත් ඔබට සියල්ල ම එපා වෙලා තියෙන්න පුලුවන්. නමුත් සියල්ලම නැති වෙලා නෑ. ඔබේ සම්බන්ධතාවයට දෙවන අවස්ථාවක් ලබා දෙන්න පුලුවන් උපාය මාර්ග ගැන සිතන්න. ඔබේ සම්බන්ධතාවය ගුනාත්මක ආකාරයකින් නැවත ඉදිරියට අරන් යන්න අවශ්‍ය නම් ඒක වෙන්න ඕනේ ආකාරය ඔබේ පෙම්වතා එක්ක විවෘතව සාකච්ඡා කරලා සන්නිවේදනය කරන්න. ඒ අතර කතාවේ ඔහුගේ පැත්තටත් සවන් දෙන්න පුරුදු වෙන්න. එහෙම කරන්න අතිශයින්ම බලවත් හේතු තිබෙනවා නම් මිසක් සම්බන්ධතාවය අත් හරින්න අවශ්‍ය වෙන්නේ නෑ.

තිනෙති නානායක්කාර | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.