Ads Top

‘අපිත් මිතුරෝ තමයි යකෝ’ ගෘප් එක මළගෙවල් වල හැසිරෙන හැටි ! #ShamelessPerera #Page7

දුක - සතුට ඇත්තටම එකම කාසියක දෙපැත්තක්, සමහර දුක්ඛ දෝමනස්ස මතකයන් ඉරේස් වුණු ගමන්ම සතුට සමාදානයට අපි හුරු පුරුදු වෙනවා. ඉබේ ඉබේ ආයෙම දුක එනවා, ඒවා පරයා ආයෙම සතුට එනවා. දුක එනවා, සතුට යනවා, සතුට එනවා, දුක යනවා. දුක සතුට එකවතාවේම එනවා, එකවතාවේම යනවා. ඔව්, ඉතිං ඒක පැති දෙකක්, එකම මූණත් තහඩුවකට උරුම වෙන. අද සෙනසුරාදා, මගේ ඕපදූප දවස, සතියේ සිද්ධ වුණු, එහෙම නැත්තම් කවදා හෝ සිද්ධ වුණු මං කතා කරන්න කැමතිම කොටසක් කතා කරන්න කැමති දවස. දිගටම කියවන කෙනෙක් නම්, අන්න ඔයා දන්නවා, සෙනසුරාදා කියන්නේ මහාරාණිගෙ ඔර්ඩර්ස් ඉහළින්ම පිළිපදින්න සිද්ධ වෙන දවස.


පහුගිය බ්‍රහස්පහින්දාවේ ගමේ ගෙදරක, මළගෙදරක් සිද්ධ උනා. එකම අවස්ථාවක දී දුක/සතුට 50/50 ලයිෆ් ලයින් ඔප්ෂන් එකක් විදියට මට ලැබුනා. හැබැයි ඉස්සෙල්ලාම, අපි සතුටු පාර්ට් එක කතා කරමු. පහුගිය අවුරුදු 6,7 ටම ගමේ සෙට් එකත් එක්ක ඉස්සර වාගේ මුහු වෙන්න වෙලාව නොතිබුණත්, පිංකම් ගෙයක්, දානයක්, පිරිතක්, මළ ගෙයක් කියන්නේ අපි අනිවාරෙන් ගැන්සි ගැහෙන, අනිවාරෙන් ඕමි අතක් බලන, කැරම් අතක් ගහන, තරඟෙට කෝපි බොන, ඒ කාල සීමාවේදී ගමේ සිද්ධ වුණු හැම කේලමක්ම හුවමාරු කරගන්න ප්‍රයෝරිටි නම්බර් වන් අවස්ථාවන්.


කොල්ලන්ට නම් සිගරට් එකක්, සුරුට්ටුවක් ට්‍රයි කරන්න හොඳම වෙලාව, ඒවාට හවුල් නැතත් අපිත් බොරුවට හරි ඒවාට දායක වෙනවා, ‘ඕයි, අපිටත් ගේනවකෝ ඕකක්’ ඉතිං අපි හිනා වෙනවා. ඒවා සීරියස් ගත්තු අපේ සෙට් එකේම කෙල්ලෙක්, ‘එහ් පිස්සුද, විකාර නටන්නෙපා’ අවවාද කෝටියක් දෙනවා. අපිත් අත අරින්නේ නැතුව අපේ ගරු රඟපෑම් හොඳටම ප්‍රගුණ කරනවා. ඉතිං ‘තණමල්විල කොල්ලා’ හැම ගමක්ම නියෝජනය  කරනවා. දම්මි, සුලෝ හැම සෙට් එකකම ඉන්නවා. මළගෙදර කොනකට වෙලා ගමේ හැම අහවලාම අපි අනුකරණය කරනවා, අලුත් මූණු හැම එකකටම පංගු පේරු නැතිව ලයින් දානවා. ‘බය නැතුව ඉන්නවකෝ, අනිවාරෙන් සෙට් කරලා දෙන්නං’ කියලා මූණවත් නොබලා පොරොන්දු දෙනවා. මේ වතාවේ, ‘අපිත් මිතුරෝ තමයි යකෝ’ අපේ වට්ස් ඇප් නොවන ෆේස් ටූ ෆේස් ගෘප් එකේ අළුත් රෙගුලාසියක් අනුමත උනා. මීට පස්සේ හැම අවස්ථාවකටම ෆේස් මාස්ක් එක අනිවාර්ය කළා. ඒක ලේසියි. සද්දේ මියුට් කරලා ඕනෑ තරම් හිනා වෙන්න මාස්ක් එක ලොකු උපකාරයක් උනා.


ඔන්න බේබි අක්කගේ මොන්ටිසෝරි යන පොඩි එකා අළුත් සාමාජිකයෙක් විදියට එකතු වෙනවා, නම ‘නතාරි’ ටිකක් පොෂ්, හොඳම යාළුවා මං, ‘අනූ’ කියලම කතා කරනවා. මං ඒකට කැමතියි. ඉස්කෝලේ යනවද ඇහුවම, නෑ ප්‍රී ඉස්කූල් යනවා කියලත් කියනවා. විසබීජ මැරෙන්න බේබි එයාගේ අතට දුන්නු දෙහි කොලේ මැජික් තියෙනවා කියලත් කියනවා. රඟපාන්න පුළුවන් නිසා අපිත් හොඳම එකෙන් බය වෙනවා. මැජික් බලේ එන්න එන්නම වැඩි වුණු තැන උන්දෑ බේබිගෙන් ගුටිත් කනවා. ඊටපස්සේ ටික වෙලාවක් අපි සද්ධ නැතුවත් ඉන්නවා. අන්තිමේට ‘මැජික් නතා’ කියලා නමකුත් දානවා.


හැම පොඩි එකාම කැමති නෑ හුරතල් වෙන්න, ඒකට දෙවියෝ මවපු වෙනම සෙට් එකක් ඉන්නවා. කූචි කූචි සොෆ්ට් සෙට් එකක්. ‘නතාරි’ යි, අපේ අයියගේ පොඩි එකා ‘ආන්‍යා’ යි හරියටම මං පොඩි කාලේ වගේම ඉන්නවා. ඒ නිසා හැම පොඩි එකාම හුරතල් කරන්න නොතේරුණත්, මගේ ක්ලබ් එකේ අයව මට හොඳට පෑහෙනවා. ඉතිං අපි හරි ලොකු ලොකු හර බර සාකච්චා කොහේ උනත් පවත්වනවා. ඉමැජිනේෂන් ලෝක වල ජීවත් වෙනවා, වැදගත් විදියට නම්බු නාම දිදීත් කතා කරනවා. මං කිව්වනේ, නතාරි ටිකක් ඉංග්‍රීසි පැලැන්තියට වැඩ කියලා. ටිකක් රේසිසම්, හැමෝගෙම අත් එක්ක එයාගේ අත තියලා කවුද සුදු කියලත් බලනවා. අපි දෙන්නගේ එක පාට නේද හලෝ තියෙන්නේ කියලා කිව්වම ලොස් නැතුව ඒක අනුමතත් කරනවා. ඉඳලා හිටලා අපි වැරදි දේවලුත් උගන්නනවා. ළමයි උනාම වැරදි මගෙත් යන්නෝනා. ඊටපස්සේ හරි පාරට එන්න ඕනෑ, ‘අපිත් මිතුරෝ තමයි යකෝ’ ගෘප් එකේ ස්ලෝගන් එක වෙනස් කරනවා.


ඉතිං අපි එකතු වෙලා මැජික් නතාට ඉංග්‍රීසි හෝඩිය රී ඩිෆයින් කරනවා, ‘ඒ’ ෆොර් ‘ඇපල්’, ‘බී’ ෆොර් කියද්දීම පොර ‘බෝල්’ කියනවා, නෑ පිස්සුද දැන් වෙනස් වෙලා තියෙන්නේ අපි කියාදෙනවා, ‘බී’ ෆොර් ‘බෆල්’, ළමයා පුදුමෙන් බලනවා, නවත්තන්නැතුව මහාචාර්යවරු උගන්නනවා, ‘සී’ ෆොර් ‘කපල්’, පොඩි උන් අතට ඉන්ටර්නෙට් එක දීලා ඕනෑ මගුලක් මට වධ නොදී කරපන් කියන උදවියට මේක දැක්කම ඔන්න තද වෙනවා, ‘ඩී’ ෆොර් ‘ඩබල්’, ‘ඊ’ ෆොර් ‘ඉදල්’... නෙස්කැෆේ, තේ අල්ලන්න නියෝග එනවා. අනාගත ඩෙඩිකේටට් බිරින්දෑ ලක්ෂණ තියෙන ගෑල් ළමයි යොදවා අපි ශ්‍රම විභාජනයක් සිදු කරනවා. ‘මොනාද ඇන්ටි තව කරන්න තියෙන්නේ’ ලකුණු ටිකකුත් දාගන්නවා. වෙනසක් නැතුව තාමත් බිස්කට් සාක්කු වල පුරවාගෙන එනවා. හෝඩිය අමතක වෙනවා. වෙනස්ම කතාවකින් ඕපාදූප අලුත් වෙනවා. කොඩි දාන්න උදව් වෙනවා, පෝස්ටර් අලවන්න යනවා. ඔව් ඔව් මාස්ක් එක දාගෙනම තමා. කොවිඩ් නිසා නෙවේ, ඉන්ටීරියර් ජෝක්ස් වලට හිනා වෙනකොට කාටවත් පේන්නැති නිසා.


ඒ අපේ නොවන මළගෙදරක ෆන් පාර්ට් එක, මෙතැනම ඒ කාසියේම අනික් පැත්ත ලියන්න ගියොත් උඹහැලාගේ මූඩ් එක සවුත්තු වෙයි නිසා අපි ඒක වෙන එකකින් කතා කරම්මු. ලියද්දි අවස්ථා දෙකකට ලියන්න කොච්චර නම් ලේසිද, ඒත් ඒ ඒ අවස්ථා නියෝජනය කරද්දී හිනා වුණු ඇස් වලින්ම කඳුළු ගලන්න අඬපු කතාව ඊළඟ එකෙන් !


අනූ පෙරේරා | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.