Ads Top

" ආලයේ ප්‍රතිඵල "



සිත්තම් මායා | අනූ පෙරේරා 

ආලය විනා ජය ගැනුමද අසන               ජන 
නිසැක පිළිතුරක් දෙනු බෑ කිමද            බණ 
ජය පැරදුම් එක ලෙසිනා වසන              දන 
ආලය යන්න තව යෙදුමකි අතර             මන 

කීවත් දහසකුත් දෙන පැණි රසයි            කියා 
කාලා බලනු එහි පුස් රස හොඳයි            කියා 
ආලය අයිති පෙම්වතුන්ට නොවෙයි        කියා 
කාලය පටලනා හැඟුමකි රහස්                කියා 

ඇස් ඉස් මස් හදනා මවක                          සතු 
දහදිය මහන්සිය වගුරන පියෙකු                 සතු 
මඟ රැකවරණ සලනා සොහොයුරා             සතු 
හොඳම යෙහෙළි වන් සොහොයුරියකද        සතු 

කලණ මිතුරු අතරේ මිතුරෙක්                 ලෙසට 
ගුරුවර සැමගේ සෙනෙහස ලැබුමන්        ලෙසට 
සැමතල වැජඹෙනා උස් ධජයක්                 ලෙසට  
ලෝකෙම දිනන්නේ ආදරේ ඵල                ලෙසට 

එහෙනම් වෙන්නේ කොහොමද පෙම අයිති   කියා 
සැම හට අයිති ඇත ආලය මගේ                    කියා 
මගේ කියා කිසිදෙයකුත් නොවෙයි                කියා 
නැවත නැවත මගේ යැයි අපි අපිම                 කියා 

පුදුම සහගතයි ආලය කියනු                        මෙන්
මිදී තිත්තයි කියනා අපි නරින්                      මෙන් 
එයම බල බලා හලනා යොතුර                      මෙන් 
ලබනුද නොලබනුද සැක ඇත සිතේ              මෙන් 

අයිති උනොත් රටටම බෙර මඟුල්                 කියා 
නොලැබ ගියොත් තූ නොදකින් තවත්            කියා 
සනසවන්නේ කාවද අපි අපිම                         කියා 
තේරුම කිමද ආලය ලද නොලද                    කියා 

කීවට දෙනා මී අඹයකි බලනු                         මැන 
රස නම් හොඳයි කා බැලුවත් මුල්ම                 තැන 
කන්න කන්න රස කොයි අඹයටම                  බැන 
තවත් කනවා එයනම් අරුමයකි                        දැන 

මිනිහෝ මෙහෙ වරෙන් යැයි දැන්             ඇසෙනවා 
ගෑනියේ උඹේ කටවහ කියලත්                 ඇසෙනවා 
දෙදෙනට දෙදෙන බැන ගහගනු මට          ඇසෙනවා 
කුමන දොසක් වැදිලද මම                           අසනවා 

දරු තිදෙනාට කන්න බොන්න කෝ                සල්ලි 
පාසල් යවන්නත් ඕනෑ කෝ                            සල්ලි 
අපල වැදිලා යවන්න නම් ඇත                         සල්ලි 
දෙවි මොට බලනවාද නැති නම් අත                 සල්ලි 

ඇනුම් බැනුම් දුර යන්නෙන් ඇය                   යන්නේ 
දරුවන් හඬයි අම්මේ ඔබ කොහි                   යන්නේ 
උඹලගේ පියා හා ඉනු බෑ මං                         යන්නේ 
ආල හැඟුම් පෑල දොරින් පැන                        යන්නේ  

වේල් තුනම යහමින් කෑ දුවට                               අද 
එක වේලත් නොදිරවන්නේ ඇයිද                         අද 
ජැන්ඩි පහට ඇන්ද පුතුට මොකද                           අද 
එකම ඇඳුම දුහුවිලි පිහදමින්                                  අද 

මව් සෙවණක රජ සැප විඳි දරු                         වන්නේ 
ඇයි නොසිතමින් ආලය හට තැන                   දෙන්නේ 
බුද්ධිය පරදමින් හදවත තැන                            ගන්නේ 
ඔබ පසු තැවෙනු ඇයි දැන් හිස්                   මිනිසුන්නේ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.