Ads Top

"මෝසම් අත වනයි "


 | අනූ පෙරේරා 

ආදර වැස්සේ තෙමෙන්න හිතයි
නමුදු මෝසම අත වනයි
විවේකයක් නෑ උපන් පටන්
ගමනේමයි ජීවිතයත්
විඩා වූ ජිවිත නිවාලන්නට ඇත
සමුගන්නම් සුන්දරයෙන්
කෙතරම් කටුකද කෙතරම් වෙහෙසද
එනමුදු අප දුවයි
නැවතුනු හදකට ගිමන් හලක් නැත
ලෝකය කෙතරම් කුරිරුයි කීවට
දනීද ලෝකය පාරාදීසයක් බව
දුවන්න දුවන්න නුඹට පෙනේවි
ලෝකය ලස්සන එකක බව
රාගයේ පේලි තනි ඉරකින් කපන්න
ද්වේශයේ සිතිවිලි මකා දමන්න
හැකිනම් මිනිස් පහසක් නොලබන
තැනකින් ජීවිතය යලිත් අරඹන්න
නුඹ යහ ගුණයෙන් බැබලේවි
ගහ කොළට ආදරය කරාවි
මෝසම අත වනාවි
ඔහුත් එක්ක පැන යන්න
නුඹේ කකුල් ඔහු සවිමත් කරාවි
දුවන්නට හුරු කරාවි
ප්‍රශ්න වලින් පැන යන්නට නොවේ
ටිකක් ඈතට වී ශක්තිමත් වෙන්න
දැවෙන සිත සිසිල් කරන්නට
මෝසමට ඉඩ දෙන්න
පරිණත වන්න අවශ්‍ය වෙලාවට
එතෙක් ජීවිතය විදින්න
පොඩි එකෙකු විලසින
එවිට දැනේවි ජීවිතය සරල බව
දහදිය සුවදින් තෙත් වන නුඹේ ගත
කකියන අස්ථි වලට කන් නොදෙන්න
සිතෙන් සවිය ගන්න නුඹට වෙහෙස නම්
ජිවිතේ තව හුඟක් දුර ඇත
සාම්ප්‍රදායික සීමාවෙන් අඩියක් ඉදිරියට තබා
මෝසමට ඉඩ දෙන්න නුඹව ගසාගෙන යන්නට
නුඹ ජීවිතය පස්සෙන් යනවාට වඩා
ජිවිතයට නුඹේ පස්සෙන් එන්නට ඉඩ දෙන්න.





Siththam Maya | Anu Perera. Powered by Blogger.