Ads Top

Seberg #Review

Siththam-Maya-57-Seberg-Movie-Review-Kristen-Stewart2

ලෝකයේ අංක එකේ ගැටළුව වුණු Covid 19 දෙවැනි තැන අරන්, අද වෙනකොට George Floyd ට සාධාරණය උදෙසා පැවතෙන වර්ගවාදී විරෝධතාවයන් ඇමරිකාවේ අංක එකේ ප්‍රශ්නය වුණාට,  ඇමරිකාව කියන්නේ ‘වර්ගවාදයේ’ බීජ පැළ වුණු තවත් එකම එක රටක් විතරයි. අපි මිනිස්සු විදියට, හැමෝම කැමතියි මොකාක්ම හරි දෙයක් වෙනුවෙන් සටන් කරන්න, අරගල කරන්න. ආදරය වෙනුවෙන්, ආර්ථික තත්ත්ව වෙනුවෙන්, ගරු නම්බු නාම වෙනුවෙන්, ඉල්ලීම් අයිතීන් වෙනුවෙන්, ලිංගිකත්වය වෙනුවෙන්, අරක වෙනුවෙන්, මේක වෙනුවෙන් අරගල කරගෙන කරගෙන යද්දී මුකුත්ම හේතුවක් නැත්තම් උඹ කල්ලෙක් - මං සුද්දෙක්, උඹ මුස්ලිම් - මං සිංහල බෞද්ධ, උඹ අරාබි - මං යුදෙව්වෙක්, උඹ රුසියානුවෙක් - මම ඇමරිකානුවෙක්, උඹ යුරෝපියන් - මං ඒෂියන්, උඹ අඟහරු ජීවියෙක් - මං පෘතුවි වැසියෙක්, උඹ අර ගැලක්සියේ - මං මේ ගැලක්සියේ දක්වාම අපි ඔය ලබ්බේ තොවිල් ටික නටාගෙන නටාගෙන යනවා.


2019 දී තිරගත වුණු, ‘සීබර්ග්’ (Seberg) චිත්‍රපටිය, වර්ථමාන ඇමරිකාවේ දැවෙන ප්‍රශ්නය ගැන කතා වෙන, tragedy based ඔටෝ බයෝග්‍රැපි එකක්. ‘Dear White People’, ’12 Years a Slave’, ‘I am not your Negro’, ‘When they see us’, ‘Get out’ වගේ නිර්මාණ එළි දක්වමින් හොලිවුඩය මීට කලිනුත් මේ ‘කළු - සුදු’ ගැටළුවට සාධාරණ විසඳුම් තමන්ගේ ස්ට්‍රීම් එකෙන් හොයන්න සෑහෙන ලොකු උත්සහයක් දරලා තියෙනවා. ‘සීබර්ග්’ එහෙම නැත්නම් ‘ජීන් සීබර්ග්’ (Jean Seberg) කියන්නේ පනහා, හැට දශකයේ සිනමාවට ‘ප්‍රංශ නව රැල්ල’ ත් එක්ක ආපු ‘Breathless’ චිත්‍රපටියෙන් ප්‍රේක්ෂකයින් බොහෝමයක් ආදරෙන් වැළඳ ගත්තු තරුවක්. සිනමාව ඉගෙන ගන්න කාලේදී නම් පිටිපස්සා පෝලිමේ කයියක් දෙකක් දාගෙන එහෙන් මෙහෙන් නෝට් එකක් ලියාගත්තත් ‘බයිස්කෝප් උණ’ ඇඟේ තිබුණු හින්දා ‘ප්‍රංශ නව රැල්ල’ ගැන කියනකොට, ඇඟට ඔටෝ පත්තියම් වෙලා තියෙන දැනුම් ටික ආයේ ආයේ මතක් වෙන්න ගන්නවා. මෙතැනට ලියන්න එච්චරටම අදාළ නොවුණත්, ප්‍රංශ නව රැල්ල එක්ක එන ලොකුම මතකය ‘ගොඩාඩ්’ (Godard) ගේ සිනමාවය, ජම්ප් කට්ස්, ලෝන්ග් කට්ස්, නළු නිළියන් වෙනුවට සාමාන්‍ය මිනිසුන්ගෙ රංගනය, නැචුරල් ඇක්ට්ස්, නොගැළපෙන සංගීත භාවිතය වගේ පොයින්ට්ස් ටිකක් මෙතැන අත ඇරලා දාන්නම ඕනෑ කියලා හිතුණා.


ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන ස්වෙච්චා සංවිධානයක් වෙන ‘Black Panther Party එකේ සාමාජිකයෙක් වගේම කළු මිනිස්සුන්ගේ දේවල් වලට බැහැලාම වැඩ කරන සමාජ ක්‍රියාකරුවෙක් වුණු ‘හකීම් ජමාල්’ (Hakim Jamal) ගේ උත්සාහයට ‘ජින් සීබර්ග්’ උදව් කරන්න පටන් ගන්නවා. ප්‍රංශ බිස්නස්මන් කෙනෙකුගේ භාර්යාවක් වුණත් මොකද ජීන්, හකීම් සමඟ රහස් ප්‍රේම සම්බන්ධතාවයකුත් ඇති කරගන්නවා. ‘සුදු’ ගැහැණියක්, ‘කළු’ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම, විශේෂයෙන් සිනමා තරුවකගෙ මේ හැසිරීම, ඇමරිකානු FBI එකෙන් දිගින් දිගටම සෝදිසි කරන්න ගන්නවා. මේ සෝදිසි කිරීම, ජීන්ගෙ පෞද්ගලිකත්වය පවා ඇයට නොදැනීම බිඳ දමනවා. ඇයව මානසික ඇද වැටීම් වලට ලක් කරනවා. තව කෙනෙකුගේ ෆෝන් එකක් අනවශ්‍ය ලෙසමට ටැප් කරන එක වැරදිය, ඒ පුද්ගලිකත්වය අසා සිටීම වැරදිය කියන FBI ඒජන්ට් කෙනෙකුගේ හෘද සාක්ෂියේ පොයින්ට් ඔෆ් වීව් එක පවා බොහොම ලස්සනට ‘බෙනඩික් ඇන්ද්‍රිව්ස්’ (Benedict Andrews) අගේට අධ්‍යක්ෂණය කරලා තියෙනවා.


සරලවම කිව්වොත් ‘ජීන් සීබර්ග්’ ගෙ රියල් ලයිෆ් ඉස්ටෝරිය ඒ විදියටම බෙනඩික් රිදී තීරයට අරගෙන තියෙනවා. ඒකට උපරිම සාධාරණය ‘ක්‍රිස්ටීන් ස්ටුවර්ට්’ (Kristen Stewart) ලබා දීලා තියෙනවා. ක්‍රිස්ටීන් ස්ටුවර්ට්, ‘ට්විලයිට්’ සීරිස් එකෙන් දකින්න ලැබුණු, ‘හර්මයිනි’ ලොකු වෙලා කියලා ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම මම රැවටුණු, ඒ උනත් කමක් නෑ කියලා හද පත්ලෙන්ම ලව් කරපු, මගේ එකම හොලිවුඩ් නිළි ක්‍රෂ් එක, දැන් මොන සීන් එකේ හිටියත් ‘ට්විලයිට්’ එකේ ‘බෙලා ස්වෝන්’ ට බැඳුනු මගේ හිත තාමත් එහෙම්මයි. කොහොම නමුත් මගේ පොඩි කාලෙම කොන්ෆියුස් වෙලාම ඉවර වෙලා ගියා මේ ‘එමා වොට්සන් - ක්‍රිස්ටීන් ස්ටුවර්ට්’ සිටුවේෂන් එක නිසා. ‘ට්විලයිට් - හැරී පෝටර්’ විතරක්ම නෙවේ, ක්‍රිස්ටීන් ‘Snow White ට රඟපානකොට, එමා ‘Beauty and the Beast රඟපානවා. සමහරවෙලාවට හොලිවුඩය ළමයින්ගේ ජීවිත සෙල්ලමට අරන්දෝ කියලත් දැන් මට හිතෙනවා.


අපි කියාගෙන ආවේ, ‘සීබර්ග්’ චිත්‍රපටිය ගැන. මේ තමයි ක්‍රිස්ටීන්ගේ ප්‍රතිභා පූර්ණතම රංගනය එළිදැක්වෙන නිර්මාණය. ඒක හොඳටම prove කරන්න පුළුවන් facts දෙකක් මට මේ චිත්‍රපටියේ අවසන් විනාඩි විස්සේදී ඇය පෙන්වන මානසික ඇද වැටීම පෙන්වනමින් ඇයගේ ජීවිතය අනවසරෙන් අසන, බලන මිනිසුන්ව ගෙදර දෙවනත් කරමින් සෝදිසි කරන සීන් එකෙන් සහ  චිත්‍රපටියේ අවසානයේ කිසිම ඩයලොග් එකක් නැති ‘ඩල් ඉමෝෂන්ස්’ එක්ක විනාඩි 03ක වන් ෂොට් සීන් එකෙන් උදාහරණ විදියට පෙන්වන්න පුළුවන්. ඒ වගේම මේකෙදි මට හොඳටම කැමති හිතුණු එක ඩයලොග් එකක් තියෙනවා. ඒ තමයි, එක්තරා අවස්ථාවක, ජනමාධ්‍යවේදියෙක් ජීන් ගෙන් අහන ප්‍රශ්නෙකට කළු ජාතික පිරිමියෙක් සුදු ජාතික කාන්තාවක්ව විවාහ කරගැනීම සම්බන්ධව ජීන් දෙන හරිම ඉලියූෂන් උත්තරය.


When people are in love, they are color blind


🖌 අනූ පෙරේරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.