Ads Top

Onward (2020) #TheMovieReview

Siththam-Maya-69-Onward-2020-the-movie-review
හැම සිනමා නිර්මාණයක්ම හැම කෙනෙකුටම සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එක්කෙනෙක් කැමති විදිය තව කෙනෙකුට අකැමැති එකක් වෙන්න පුළුවන්. ඒත් අපි ජීවිතේ, ඕනෑම කාලයකදී , ඕනෑම අවස්ථාවකදී, ඕනෑම විදියකට රස වින්දනය කරන්න පුළුවන් සිනමා ශානරයක් තමයි කාටූන් හෝ ඇනිමේෂන් කියන්නේ. පොඩි කෙනෙකුට එන්ටටෙයින් වෙන්නත් ලොකු කෙනෙකුට වෙනස්ම කියැවීමක් එකතු කරන්නත් ඕනෑම කාටුන් එකකට, ඕනෑම ඇනිමේෂන් මූවි එකකට පුළුවන්. සරලවම ලොකු උනාමත් කිසිම ලැජ්ජාවක් කහටක් නැතුව කරන්න පුළුවන් පොඩි වයසේ දෙයක් තමයි කාටූන් එකක් බලන එක.

මේ අවුරුද්දේ මුලදී, ඒ කියන්නේ 2020 පෙබරවාරියේ දී රිලීස් වුණු ‘Onward’ ඇනිමේෂන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ ‘ඩෑන් ස්කැන්ලන්’ (Dan Scanlon) මතකනම් 2013 විතර ආපු කොළ පාට ගුලියකට එකම එක ඇහැක් එක්ක අත් කකුල් තිබ්බ ඩෑල් එකක් මේන් කැරැක්ටර් විදියට හිටපු ‘Monster University’ අධ්‍යක්ෂණය කලෙත්, රේසින් කාර් එකක් මුල් කරගෙන ආපු ‘Cars’ චිත්‍රපටියේ ස්ටෝරි ආර්ටිස්ට් විදියට කටයුතු කළෙත් ඩෑන් ම තමයි. අපි පොඩි කාලේ බලපු මිකී මවුස්ලාගේ ඉඳලා හැම සුරංගනා කතාවක්ම වගේ ගෙනැල්ලා දුන්නු ‘වෝල්ට් ඩිස්නි පික්චර්ස්’ (Walt Disney Pictures) සමාගමත්, ස්ටීව් ජොබ්ස් ‘ඇපල්’ එකෙන් එළියට වැටුණම ක්‍රියේටිවිටිය එකවිදියකට තියාගෙන ඉන්න බැරි අමාරුවට ගොඩ නගපු ‘පික්සාර් ඇනිමේෂන් ස්ටුඩියෝස්’ (Pixar Animation Studios) සමාගමත් එකතු වෙලා තමයි Onward නිෂ්පාදයත් බෙදා හැරීමත් සිදු කරන්නේ. කොහොම උනත් පික්සාර් බිහිකරන නිර්මාණවල, තාම ස්ටීව්ගෙ ටේස්ට් එක තියෙනවා කියන එක මගේ පුද්ගලික අදහස. ඔව්, මං ආසම ස්ටීව් ජොබ්ස් අමරණීය බ්‍රෑන්ඩ් එකක්.

කතාවම කියාගෙන යන්න මගේ තුන්හිතකවත් නෑ. එතකොට කිසි ගතියක් නෑ. චිත්‍රපටිය බලන ගැම්ම නෑ, ඒ එක්සයිට්මන්ට්  එක, කියුරියෝසිටි එක නෑ. ඒ නිසා ප්ලොට් එක ගැන විතරක් උඩින් පහළින් අපි කතා කරමු. මිනිස් සිරුරක් තියෙන ඒත් උල් වුණු කන්, මැජික් බල තියෙන මිත්‍යා නිර්මාණයක් වෙන, ‘එල්ෆ්’ (Elf) වරුන්ගෙ මොඩර්න් කාලවකවානුවක, ඒ කියන්නේ අතීතයේ ඔවුන්ට තිබුණු මායා බලයන් කිසිවක් නැතුව හරියට අපි ජීවත් වෙනවා වගේම ඔටෝමේටට් ජීවිත ගත කරන වර්තමානයක ජීවත් වෙන ‘ඉයන්’ සහ ‘බාර්ලි’ කියන සහෝදරයෝ දෙන්නා තමන්ගේ මිය ගිය පියා මැජික් බලයෙන් පැය 24 කට පණ දෙන්න පුළුවන් මන්තරයක් පිටුපස්සේ දුවන චාරිකාව තමයි මේ විදියට පැයකුත් මිනිත්තු 42 කුත් පුරාවට චිත්‍රපටියක් විදියට රිදී තිරයට ගෙනැල්ලා තියෙන්නේ.

Siththam-Maya-69-Onward-2020-the-movie-review-inside-article

ෆිල්ම් එක බලන්න තවත් කැමති වුණු පොයින්ට් එකක් තමයි මේකේ මේන් කැරක්ටර්ස් දෙක හඬ කවන ඩබින් අර්ටිස්ට්ලා දෙන්නා. ‘ඉයන්’ ඒ කියන්නේ බාල සහෝදරයාට හඬ දෙන්නේ ‘ටොම් හොලන්ඩ්’ (Tom Holland) අපි කවුරුත් දන්න Spider-Man, ‘බාර්ලි’, වැඩිමහල් සහෝදරයාට හඬ දෙන්නේ, ‘ක්‍රිස් ප්‍රැට්’ (Chris Pratt) මාර්වල් යුනිවර්ස් එකේම ‘ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි’ චිත්‍රපටියේ ‘ස්ටාර් ලෝර්ඩ්’ කියලා තමන්ටම කියාගන්න ‘පීටර් කුයිල්’. බාර්ලි, සමාජශීලී කෙනෙක්, ජිවිතේ ඇඩ්වෙන්චර් එකක් කරගන්න කැමති කෙනෙක්, රිස්ක්ස් ටේකර් කෙනෙක්. ටිකක් ගැන්ස්ටර් විදියට ඉන්න කැමති කෙනෙක්. සරලවම කිව්වොත් extrovert චරිතයක්. හැබැයි ඉයන් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. Introvert චරිතයක්. අලුත් යාළුවො එක්ක කතා කරන එකම එයාට අභියෝගයක්. ඒක හොඳටම හයිලයිට් කරලා පෙන්නනවා එයාගේ උපන්දිනේට යාළුවන්ට ඉන්වයිට් කරන්න එයා කතාව හදාගන්න විදියෙන්, කියන්න ඕනෙම වචන ටික අතේ ලියාගන්න විදියෙන්, වෙව්ලන කටහඬින්. කාටූන් උනාට මොකද හැම අංග චලනයකින්ම ඒ තැතිගැන්ම හොඳටම පෙන්නලා තියෙනවා.

මේ චාරිකාවට අතුරු පාරවල් වලින් මේ දෙන්නගේ අම්මත්, ඒ සහයට ‘මැන්ටිකෝ’ කෙනෙකුත් සම්බන්ධ වෙනවා. ‘මැන්ටිකෝ’ කියන්නේ, ග්‍රීක මිත්‍යාවන්ගේ එන, මිනිසෙකුගේ මුහුණක් ඇති, සිංහයෙකුගේ සිරුරක් ඇති, ගොනුස්සෙකුගේ දළ ඇති, මකරෙකුගේ පියාපත් සහ ගිණි පිඹීම ඇති ග්‍රීක මිත්‍යාවේ දරුණුතම නිර්මාණයක්. හැබැයි චිත්‍රපටියේ වර්තමානයට එනකොට නම් මායාව මැජික් ගිලිහිලා තියෙන නිසා මැන්ටිකෝ කියන්නේ ඒ පළාතේ රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්න, රජයට ටැක්ස් ගෙවන, පොඩි පොඩි සත්තුන්ටත් ප්ලීස් කරන චරිතයක්. ඒ වගේ ගොඩක් තමන්ගේ මැජික් එක අමතක වුණු අයට මැජික් මතක් කරලා හොඳට හෝ නරකට ජීවත් වෙන විදියත් ගමන අතරේදී ඉයනුත් බර්ලිත් කියා දෙනවා. ඒක හරියට කොරෝනා කාලේ අපි හැමෝම එකතු වෙලා වගා කරන්න ගත්තා වගේ කොටසක්. අපි ජීවත් වුණු මුල් ප්‍රභේද නැවත මතක් කරදීමක් වගේ දෙයක්.

කවදාවත් සහෝදරයෙක් විදියට බාර්ලිව ආශ්‍රය කරන්න ඉදිරිපත් වෙන්න ගට් එකක් නොතිබුණු ඉයන් මේ ගමන ඇතුළෙදි බාර්ලිට ගොඩක් ලං වෙනවා. මියගිය තාත්තට, අවසාන විනාඩියේදී පණ දෙන්න පුළුවන් වුණත් ෆොටෝ වලින් විතරක් දැකලා තිබුණු තාත්තගේ මූණ ඉයන්ට අන්තිම මොහොතේදී බලාගන්න බැරි වෙනවා. තාත්තට පණ ආවම කරන්න කියලා හිතන් හිටපු පොඩි චෙක්ලිස්ට් එක පවා සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒත් ඉයන් තේරුම් ගන්නවා, කවදාවත් නොදැකපු එයාගේ තාත්තා වෙනුවට හැමවෙලාවෙම තාත්තා නොවී තාත්තා වුණේ එයාගේ අයියා බාර්ලි කියලා. තාත්තා එක්ක කරන්න හදාගෙන ඉඳපු හැම ගෝල් එකක්ම ඒ වෙනකොටත් ඉයන්ටත් නොදැනීම එයාගේ අයියා එක්ක ඉෂ්ඨ වෙලයි තිබුණේ. ඒ හැම එකකටම නොදැනුවත්වම ‘හරි’ වැටිලයි තිබුණේ. ඔව්, අපේ ඇත්ත ජීවිත වලත් එහෙම්මමයි. පවුලේ වැඩිමලා ආදරය කටින් නොකීවට, කරදරයක් ආවොත් ඒ හැමවෙලාවකම පවුලේ බාලයාගේ පැත්තේ එයාලා හිටගන්නවා. ගොඩ එන්න උදව් කරනවා.

Onward කියන්නේ ඒ විදියේ සිබ්ලින් ලව් එකක් උඩ දුවන ලස්සන කොන්සෙප්ට් එකක්. බලන්ඩ !

🖌 අනූ පෙරේරා | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.