Ads Top

ආදරයේදී අනෙකාගේ අවකාශ‍යට එබිලා ලෝක ඇණයක් වෙන්න එපා


සමහර වෙලාවට සුරංගනා කතා වගේ ලස්සනට ගලාගෙන ගිය ආදර කතා හිටි අඩියේ තිරිංග තද කරමින් නැවතෙන්නේ ආයිමත් අපේ කකුල් මහ පොළොව උඩට ගෙනත් තියලයි. එහෙම කාලෙකට එක පාරට ම හෙණ ගැහුවා වගේ මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරුව ඔබත් පසුතැවිලි වෙලා ඇති. නමුත් සම්බන්ධතාවයක් අවසන් වෙන්න හේතු වෙන ප්‍රධාන ම දෙයක් තමයි ඔබ ආදරය කරන මනුස්සයා එක්ක හැම වෙලාවෙම නෙමෙයි අවශ්‍ය වෙලාවටවත් ඉන්නේ නැති එක. ඒ වගේම අවකාශය ඇහිරීම. මනුස්සයෙක්ගේ භෞතික අවකාශයට පමණක් නෙමෙයි මානසික අවශ්‍යතා වලටත් ඉඩ ලබා දීම ආදරේ කරනවාටත් එහා ගිය මානුෂික සංවේදීකමක්, ගෞරවයක් එකතු කරන කාරණයක්. දැනටමත් ඔබේ පෙම්වතිය අරගල කිරීම පටන් අරන් නම් සම්බන්ධතාවය නැවත පණ ගන්වන්න හොඳම විදිහ ගැන අපි අද ඔබට සරල මඟ පෙන්වීමක් කරන්නම්. මේ ලිපියේ අන්තර්ගතය ගැහැණු පිරිමි දෙපාර්ශවයට ම අදාලයි.

# 1: ඇමතුම් හෝ මැසේජ් 

ඕනෙම මනුස්සයෙක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු එක්ක කාර්‍යබහුල වෙන එක සාධාරණයි. කතා කරන්න අතපසු වුණාම විනාඩි 05ක් වත් විවේකයක් අරන් කෙටි පණිවුඩයක් යවන්න අවම උත්සහයක් වත් දරන්න පුරුදු වෙන්න. ඒක අනිත් මනුස්සයාට ලොකුම දෙයක්. ඒ වගේම අනිත් පැත්තට හිතන්න ඕනේ කාර්‍යබහුල ආදරවන්තයෙක්ට කෙටි පණිවිඩයක් යවද්දී පිළිතුරු ලැබෙන්න ප්‍රමාද වෙන එක සාධාරණයි කියන එක. ඇමතුමක් ගනිද්දී වුණත් ආදරවන්තයා ඔබේ ඇමතුම ලබා ගන්නේ නැත්නම් හෝ ඔහු / ඇය කාර්යබහුල යැයි කියනවා නම් ඔබේ ප්‍රතිචාරය වෙන්න ඕනේ “හරි, ඔයා ෆ්‍රී වුණාම මට කතා කරන්න!” කියලයි. ඊට පස්සේ ඔබේ සහකරු ඔබට නැවත කතා කරනකල් ඉවසන්නත් පුරුදු වෙන්න. මේ නිදහස ඇතුළෙයි ආදරයට පැවැත්මක් ලැබෙන්නේ. සම්බන්ධතාවයකදී එකිනෙකාගේ පෞද්ගලික අවකාශයන්ට දක්වන මේ ගරුත්වය හරිම වැදගත්.

# 2 පවුලේ හෝ මිතුරන්ගේ වේලාව

ඔබේ සහකරුට ඔවුන්ගේ පවුලේ අය සමඟ හෝ ඔවුන්ගේ මිතුරන් සමඟ සිටීමට අවශ්‍ය වෙන වෙලාවල් එනවා. ඒ වගේ අවස්ථාවක ඔබ සමඟ කතා කරන්න හෝ ඒ දේවල් අතහැර දමා එන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලන එක නරක අදහසක්. ඔවුන් සමඟ සිටින ඕනෑම කෙනෙකුට ඔවුන් විනෝද වීමට ඉඩ දෙන්න. මේක පෞද්ගලිකව ගන්න එපා; එයින් අදහස් කරන්නේ නෑ ඔහු ඔබ සමඟ කාලය ගත කිරීමට අකමැතියි කියලා. එයින් අදහස් වෙන්නේ ඔවුන් ඔබ සමඟ විනෝද වීමට ආදරය කරන අතරම, ඔවුන්ගේ ජීවිතයට මිතුරන් හෝ පවුලේ අය සමඟ සිටීමේ කොටස ද අවශ්‍යයි කියන එකයි. ආදරය කරනවා නම් අනෙකාගේ පෞද්ගලික නිදහසට ඉඩ දෙන්න.

# 3 දුෂ්කර කාලයන්

අපි සියලු දෙනාටම රැකියාවේදී දුෂ්කර දිනයක් සමඟ කටයුතු කිරීමට හෝ පවුල් ආරවුල් වලට මුහුණ දෙන්න වෙන දවස් එනවා. සමහර පෙම්වතියන් කරන වැරැද්දක් තමයි මේ වෙලාවට පෙම්වතා කලබලයට පත් වුණාම සන්සුන් කරන්න බලන් අනවශ්‍ය මැදිහත්වීමක් කරන එක. ඔබ එහෙම හිතුවාට ඒ වගේ වෙලාවල් වලට තනියෙන් ඉන්නත් ඔවුන් කැමති වෙන්න පුලුවන්. ඔබේ පෙම්වතාට රිදවන හෝ වේදනාකාරී අවස්ථාවන්හිදී අවශ්‍ය දේ ඔබ හිතපු දෙයට වඩා වෙනස් වෙන්න පුලුවන් කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔවුන් ඉල්ලන දේ ඔවුන්ට දෙන්න. ඒ වගේම මේ වගේ ගැටලුවකට ඔබේ පෙම්වතිය මුහුණ පෑවොත් ඔබේ අවකාශය තුළ ඇයට ඉන්න කාලය දෙනවා නම් ඔබේ සම්බන්ධතාවය ගොඩක් අව්‍යාජ වෙනවා. මොකද ඒ වගේ වේදනාතමක අවස්ථා වලදී ගහැණු ළමයිට තමන්ගේ දුක අහන් ඉන්න හරි කෙනෙක් ඉන්න එක ලොකුම ශක්තියක්. ගැහැණු පිරිමි දෙපාර්ශවයට අදාල මේ වෙනස්කම් අවබෝධ කරගන්න උත්සහ ගන්න.

# 4 ඔබේම දෙයක් කරන්න

සම්බන්ධතාවයකදී දවස පුරාම අනෙකා මත යැපෙන්න උත්සහ කරන්න එපා. මේ වැඩේ ගොඩක්ම වෙන්නේ පෙම්වතියන්ගෙන්. හොඳම දේ තමයි ඔබ කැමතිම දේවල් කිරීමට ඔබටම ඉඩක් ලබා දීම. මේ ආකාරයෙන් කටයුතු කරද්දී ඔබ සම්බන්ධතාවයේ ගිලීහිලා යාම වැළැක්වෙන අතර සම්බන්ධතාවයෙන් පිටත ඔබටම තනියෙන් සතුටු වෙන්න පුලුවන් දේවලුත් හම්බ වෙනවා. ඔබට අවශ්‍ය කලා පන්තියට හෝ ක්‍රීඩා පන්තියකට සම්බන්ධ වෙන්න. සමහර විට අලුත් භාෂාවක් ඉගෙන ගන්න. විශේෂයෙන්ම ඔබේ හිත කැමතිම අලුත් දෙයක් පටන් ගන්න. එතකොට කාලය ගෙවෙනවා ඔබටවත් තේරෙන එකක් නෑ. ඔබ සහ ඔබේ සහකරු අතර ඇති අවකාශය ඵලදායී ලෙස භාවිතා කිරීමට ඔබට උපකාර වන සෑම දෙයක්ම කරන්න.

# 5 දැනෙන කතා බහ

ඔබේ පෙම්වතාහෝ පෙම්වතිය ඔබගේ සම්බන්ධතාවය තුළ වැඩි කාලයක් ගත කරන්නේ නෑ කියලා ඔබට හැඟෙනවා නම් හෝ වඩාත් සංකීර්ණ දෙයක් ගැන සිතෙනවා නම් ඒ ගැන ඍජුව සමඟ කතා කරන්න. චෝදනා නොකර ඔබට හැඟෙන ආකාරය ඔවුන්ට හරියටම කියන්න. “ඔයා මට රිදවනවා” දෘෂ්ටිකෝණයට වඩා ගැටලු විසඳීමේ බුද්ධිමත් දෘෂ්ටිකෝණයකින් මෙම තත්ත්වයට එළඹීමට උත්සාහ කරන්න. මේ ආකාරයෙන් ඔබට තවමත් ප්‍රමාණවත් ඉඩක් ලබා දෙන්න බැරි ද නැත්නම් ඔවුන් ඉල්ලන ඉඩ ප්‍රමාණය ඔබට ලබා දෙන්න බැරි ද යන්න ගැන ඔබට දැන ගන්න පුලුවන් වෙයි.

එක දෙයක් මතක තබා ගන්න. අපි සියලු දෙනාටම විවිධ අවශ්‍යතා තියනවා. විවෘතව කථා බහ කිරීමෙන් ඔබ දෙදෙනාගේම අදහස් එකිනෙකාට මුණගැසෙන තැනදී ඔබේ සම්බන්ධතාවය ඉදිරියට යන්න ඕනේ ආකාරය ගැන තේරුම් ගැනීමට පුලුවන් වෙයි. වැදගත්ම දේ තමයි අනිත් මනුස්සයාගේ පෞද්ගලික නිදහසට සහ අවකාශයට වාතයක් නොවී ඉන්න එක.

තිනෙති නානායක්කාර | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.