Ads Top

ඒත් මනෝ, අපිට ආදරෙන් බැඳෙන්ඩ අවුරුදු එකොළහක්ම ගත වුණා නේද ?

Image may contain: 1 person, smiling

බාගදා නුඹටත් ඇති සාධාරණ තරහක් 
කැන්ගරු දේසය වෙනුවෙන් තිබුණු මගේ අකුරු ටික 
ලක්දිව බිහිවුණු 
විශිෂ්ඨතම රංගධරයෙකුගේ නික්ම යාමේදී නොතිබුණු බව 
හේතු කොට ගෙන  
සත්තකින්ම මට ඕනෑ උනේ නෑ 
අමරදේව මහත්තයාගේ මරණයෙන් හම්බකරගත් 
මාධ්‍යකාරයෙක් ගාණට වැටෙන්ඩ 
ඇරත් ඔහු ජීවත් වන කලදී නැති අකුරු 
දැන් මොකටද නේද 
ඒත් 
අපි ඔහු අගය කළ යුතු වෙමු 
ඔහුගේ ආ ගිය තොරතුරු, සම්මාන, පදවි තානාන්තර 
අරක මේක හැමදේම නුඹ ගූගල් එකෙන් දැනගන්න...
'සූරිය අරණ' මං ඔහුව නෝට් කරගත් 
පළමු සිනමා නිර්මාණය 
එතකොට මං ඉස්කෝලේ යන ඇච්චෙක් 
මතකද 
ගමේ උන්ට ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි 
ගැන බිය වැද්දවූ කොටස 


සේදිරිස්ටයි (ජැක්සන් ඇන්තනීයන්) ටිකිරාටයි (සජිත) 
පොඩි හාමුදුරුවන්ටයි (දසුන්) වැඩියෙන් 
අදටත් මට අමතක නොවෙන චරිතේ තමයි 
ලොකු හාමුදුරුවන්ගේ චරිතේ රඟපාපු 
ජයලත් මනෝරත්නයන් 
රංග ප්‍රභාවය, ප්‍රතිභා පූරණය වගේ වචන අහලවත් නැති 
ඒ කාලේ මට ඔහුව නෝට් වුණේ 
බයටම මිස වෙන හේතුවකට නෙවේ. 
එදා සිට සෑහෙන කලක් ගතවෙන තෙක්ම 
ඔහුව තීරයේදී බැලීම ප්‍රතික්ෂේප වීම 
මා අතින් නිතර නිතර සිද්ධ වුණි 
'සිරි රජ සිරි' චිත්‍රපටය පවා මං බැලුවේ 
ඔහු නැති හෝදා අයින් කළ කොටස් පමණයි 
පොඩි උන්ට කිසින් සීන්ස් අයින් කරවා පෙන්නනවා සේ 
මගේ දෙමව්පියන්ට පැවරුණු රාජකාරිය වුණේ 
ඔහුව අයින් කර පෙන්වීමයි 
නමුත් සිනමා නිර්මාණයක් එහෙම බලන්නේ කොහොමද නේද 
අගින් කොනින් මා ඔහුව දුටුවා, ටිකෙන් ටික ඔහුව මට ඕකේ වුණා 
2015 දී ආපු 'හෝ ගානා පොකුණ' කියන්නේ 
මං පුද්ගලිකව ආදරෙන් බැඳුනුම සිංහල සිනමා නිර්මාණයයි 
මගේ සිනමා කියැවීම පෘතුලට විහිදී නැත 
මා ඔස්කාර්වරයෙකුද මෙන්ම රැඩිකල් ද නැත 
එය හරිම සරල එකකි. හදවත හා ස්පර්ශ වෙන සංවේදී හමුවකි 
දැනට අපි එය පසුව කතා කරමු 
බස් ඩ්‍රයිවර් අංකල් චරිතය රඟපෑ ඔහු 
ප්‍රධාන ද සහය චරිතයක් කරනවාද යන්න පවා මට තේරුණේ නැත 
ලයිසන් එක ගන්නට චායාරූප ගත් අවස්ථාව 


ඔහුට බය වුණු මා ම ඔහු හා ආදරෙන් වෙලෙන්නට විය 
එදා සිට මම නුඹේ නිර්මාණ බැලුවෙමි 
වසර ගාණක් ආපස්සට ගියෙමි 
නුඹව දුටුවෙමි, නුඹව කියැව්වෙමි, නුඹව රස වින්දෙමි 
හුදී ජනයාව අර්ථවත් රස වින්දනයකට ගෙන ගිය 
නුඹට පිං දෙන්නෙමි, පිං අනුමෝදම් කරන්නෙමි 
ඒත් මනෝ, 
අපිට ආදරෙන් බැඳෙන්ඩ 
අවුරුදු එකොළහක්ම ගත වුණා නේද? 

අනුවා | සිත්තම් මායා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.